Kudda-arrested-for-robbing-a-super-bookstore-near-Ananda-in-Maradana-twice

මරදානේ පිහිටි මෙරට ප්‍රසිද්ධතම ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් අවස්ථා දෙකකදී කොල්ලකා රුපියල් ලක්ෂ හතළිස් එකක මුදල් කොල්ලකෑ පුද්ගලයකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවවට ගෙන තිබේ.



මරදාන, බොරැල්ල මාර්ගයේ කොළඹ ආනන්ද විද්‍යාලය ආසන්නයේ පිහිටි මෙම ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 35 ක මුදල් සොරාගෙන තිබුණි. එම සැකකරු විසින්ම පසුගිය පෙබරවාරි මාසයේදීද මෙම ආයතනයට පැන රුපියල් ලක්ෂ 06 ක් සොරාගෙන තිබිණි.

මෙම කොල්ලකෑම් සිදුවූ කාල පරාසයේදී ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය අවට සන්නිවේදන කුලුනු හරහා සම්ප්‍රේෂණය වී ඇති දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තා පොලිසිය විසින් ලබාගෙන තිබුණු එම කොල්ලකෑමට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් හඳුනාගෙන තිබිණි. ඔහු කොල්ලකෑම් රැසකට සම්බන්ධ හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වූ මරදාන මාලිගාකන්ද පාරේ පදිංචිව සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු මාලිගාකන්ද පාරේ පිහිටි නිවසේ සිට නැති බවත් ඔහු තොටළඟ මිහිජය පුර නිවාස සංකීරණයේ නිවසක සැඟවී සිටියදී පසුගියදා (07) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවත් මරදාන පොලිසිය සඳහන් කරයි.



සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරු විසින් කොල්ලකන ලද මුදල්වලින් කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවි සල්වලින් රත්තරන් භාණ්ඩ මිලදී ගැනීමක් හා හෙරොයින් මිලදී ගැනීමක් සිදුකර ඇතැයි අනාවරණය කරගෙන ඇත.මේ අනුව සැකකරු විසින් රුපියල් ලක්ෂ හතළිස් එකක මුදලින් රත්තරන් භාණ්ඩ ලබාගෙන මත්කුඩු පානයට මුදල් නොමැති වීමෙන් හෙටිටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසල් හා උකස් මධ්‍යස්ථාන වෙත අලෙවි කර හා උකස් කර තිබූ රන් පවුම් 21 ක් සොයාගෙන තිබිණි. මෙම රත්තරන් අධිකරණ මාර්ගයෙන් අලෙවි කර අගතියට පත් ග්‍රන්ථ ප්‍රකාශන සමාගමට අලාභය ගෙවන බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. -