මේ වනවිට වැටී තිබෙන තැනින් ගොඩ එන්නට නම් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් නිසි පරිදි හදුනාගත ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාව නැවත ආරම්භ කර දේශීය කඩදාසි අවශයතාව සපුරන්නට සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ඊයේ (09දා) එමින් හෙතෙම මේ බව පවසා සිටියේය.


මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාත්තශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75000ක නිෂ්පාදනයක් සිදු කිරීම අපෙක්ෂාව වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අපේ රටට පැමිණි ආයෝජකයන්ගේ ඉතිහාසය දෙස බැලුවාම හරීම කනගාටුදායකයි. ලංකාවේ ටයර් කම්හලක් ගත්තේ පුද්ගලික ආයෝජකයක්. වානේ සංස්ථාව ගත්තේ පුද්ගලික ආයෝජකයෙක්. ඒවා එතනින්ම ඉවර වුණා. ඒ නිසා අපේ අතීතය ගැන අප ඉදිරියේ තියෙන චිත්‍රය හොඳ නැහැ.


හැබැයි ම එහෙම කියලා අපිට දේශීය හා විදේශීය ආයෝජකයන් සමග ගමනක් යනවා හැරෙන්නට වෙන ක්‍රමයක් නැහැ. ලෝකයේ එක අවදියක් තිබුණා සෝවියට් දේශයේ සමාජවාදයේ ආරම්භයත් සමග සියලු ආයතනවල නිෂ්පාදනය, බෙදාහැරීම හා අයිතිය රාජ්‍ය සතු කරලා මධ්‍යගත පාලනයක් හරහා ලෝකයේ නිෂ්පාදනය ආරම්භ කරපු.

ඒ පටන්ගත් සමාජවාදී රටවල් සියල්ලම කඩාගෙන වැටුණා. හැබැයි වියට්නාමයට හා චීනයට පුළුවන්කම ලැබුණා විශාල ආර්ථික ප්‍රතිසංස්කරණවලට යන්නට. අපේ රටට එන ආයෝජකයන් අපි භාරගත යුතුයි. ඒ අයට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු යි. අපි දැනට ජාත්‍යන්තර ව්‍යාපාර දශකයේ ඉන් 99වන ස්ථානයේ. අපිට ඉන්දියාව, චීනය එක්ක තරග කරන්න බැහැ ඇත්තටම. අපිට සිටින ප්‍රධාන තරගකරුවන් තමයි සිංගප්පූරුව සහ හොංකොං. අපේ රටේ කෘෂිකාර්මික නොවන කර්මාන්ත තිබෙන්නේ 1,035,732ක් පමණයි. එයින් සේවකයන් 100කට වඩා ඉන්න ව්‍යාපාර තියෙන්නේ 2,440ක් පමණයි. ඉතිරී සියයට 91ක ප්‍රමාණයක්ම ඉතා කුඩා ඒවා.

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම හා හැකි තරම් නව  ව්‍යවසායකයන් බිහි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් අපි කටයුතු කළ යුතුයි.” යයිද පවසා සිටියේය. අමාත්‍යාංශ ලේකම් ජනරාල් දයා රත්නායක (විශ්‍රාමික), සී/ස කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

(සාකල්යා සඳමාලී )