බිරිඳ විදෙස්ගතව සිටිය දී සිය 10 හැවිරිදි බාල වයස්කාර දියණිය අඹුකමට ගත් 46 හැවිරිදි පියකුට වසර 18ක සිර දඩුවමක්, රුපියල් 30,000දඩයක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඊයේ (09) නියෝග කළේය. මෙලෙස සිර දඬුවම් හා දඩ වන්දි  නියම කෙරුණේ හම්බන්තොට ප්‍රදේශයේ  පදිංචි 46 හැවිරිදි දෙදරු පියකුටය. සිය බිරිඳ විදෙස්ගත රැකියාවකට  ගොස් සිටිය දී මෙම පුද්ගලයා බීමත්ව පැමිණ 2015.04.01 දින සිට අවස්ථාවට කිහිපයක දී සිය බාල වයස්කාර දියණිය අපයෝජනයට ලක් කර ඇත.



පියාගේ කරදර ඉවසා ගත නොහැකිව දියණිය මේ පිළිබඳව ප්‍රදේශ ළමා සමාජයක බාරකාරියකට පවසා ඇති අතර පසුව ඔවුන් දැරිය හම්බන්තොට පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුව හම්බන්තොට පොලිසිය විසින් චූදිත පියා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී පැවැති මූලික නඩු විභාගයෙන් පසු 2021.05.20 වන දින නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා 03ක් යටතේ නඩු පවරන ලදි. ඒ අනුව පැවැති නඩු විභාගයේ දී පැමිණිල්ල විසින් චූදිතට එරෙහිව නගා තිබූ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චූදිත අදාළ අධි චෝදනා තුන සඳහාම වැරදිකරු කෙරිණි. එහිදී චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා චූදිතට දඬුවම් ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ශෙහාන් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙලෙස පැවසීය.

ස්වමීනි චූදිත විසින් සිදුකර ඇත්තේ බරපතළ වරදක්. මෙය සමාජයේ  කිසිවකුත් අනුමත කරන ක්‍රියාවක්  නොවෙයි. ඒ අනුව චූදිතට දඬුවම් නියම  කිරීමේ දී වින්දිත දැරියගේ වයස පිළිබඳවත් අදාල චූදිත වින්දිත දැරියගේ පියා යන්න පිළිබඳවත් අවධානය යොමු කරන ලෙසත්,

සමාජයට ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ ඉහළ දණ්ඩනයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටිනවා යැයි පැවසීය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු රඡත්ත ගොඩවෙල මහතා චූදිතට එක්  චෝදනාවකට වසර 18 බැගින් චෝදනා 03 සඳහා වසර 54ක සිර දඬුවමක් නියම කෙරුණු අතර එම දඬුවම් කාලය වසර 18 කින් සමගාමීව ගෙවී යා යුතු බව ද  නියම කෙරිණි.  ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා 03 සඳහා රුපියල් 30,000ක දඩයමක් නියම කෙරුණු අතර දඩය නොගෙවන්නේ නම් තවත් මාස 18 ක සිට දඬුවමක් නියම  කෙරිණි. එමෙන්ම වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා චූදිතට නියම කළ අතර එය නොගෙවන්නේ නම් අමතර මාස 24ක සිර දඬුවමක් ද නියම කළේය.