udith-lokubandara-mahinda-atm

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කලකට ඉහත කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාරට එරෙහි මූල්‍ය වංචා චෝදනාවක් ගැන පරීක්ෂණ සිදු කරන බව වාර්තාවේ.



මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු වැටුප් බැරවන රාජ්‍ය බැංකුවක බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී කෝටි තුනහමාරක පමණ මුදලක්
කාලයක් තිස්සේ කිසිවෙකු විසින් වරින්වර රැගෙන තිබෙන බව හෙළිව ඇත. මහින්ද රාජපක්ෂ මතක ඇති කාලයක ඒටීඑම් යන්ත්‍රයකින් මුදල් ලබාගෙන නැති අතර මෙසේ රහස් පදය හා කාඩ්පත උපයෝගයෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇත්තේ වෙනත් කිසිවෙකු නොව මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කලකට ඉහත කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර බව හෙළිව ඇත.

තම පුද්ගලික ගිණුමේ මුදල් භාවිතා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අවසරයක් ලබාදී නැති අතරම සිය තනතුර හා බලය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්වාසය දඩමීමා කරගෙන මෙම සියුම් වංචාව මොහු සිදු කර ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරීන් සඳහන් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය අරඹන ලදි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් මෙසේ වංචා කර ඇතැයිද හෙළිවේ.


ගිණුම පුද්ගලික ගිණුමක් වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා හැරෙන්නට වෙන කිසිවෙකු ඒ ගැන සොයා බලන්නට හැකියාවක් නොතිබී ඇති අතර මෙම ප්‍රමාදය වාසියට හරවාගෙන මුදල් ලබාගෙන ඇතැයි හෙළිව ඇත.
ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම් කාඩ් පත මෑතක් වනතුරු උදිත් ලොකුබණ්ඩාර සතු ව තිබී ඇත.

කොවිඩ් වැළඳී  මිය ගිය හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර ගේ පුත් විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ උදිත් සංජය ලොකුබණ්ඩාර කාලයක් ‘මෝඩ යකෙක්‘ යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ උදහසට බඳුන්වූ බව සමාජ මාධ්‍ය තුළ ප්‍රකට වීඩියෝවක්ද විය.
ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුනේ ඔහු රාජපක්ෂ පවුලේ ‘බිස්නස් ඩීල්‘ කරුවෙකු බවයි. ඔහු මහින්දගේ ජනපතිවරණ පරාජයෙන් පසුවත් කලක් මහින්ද රාජපක්ෂ ළඟ වැඩ කළ නමුත් හිටි හැටියේම රාජපක්ෂ නිවස තහනම් කලාපයක් කර ඔහු ඉවත් කර තිබුණි.
 ඊට හේතුවූයේ මහින්ද හමුවට ආ ව්‍යාපාරිකයෙකු පිරිනැමූ සංතෝෂම් මුදලක් ඔහු රහසේම ලබාගත් බව CCTV කැමරාවකින් අතටම හසුවීම නිසා බවට දේශපාලන වෙබ් අඩවියක් මගින් කරුණු හෙළි කර තිබුණි.