robin-fernando-passed-away

සිංහල සිනමාවේ  සටන් නළුවකු ලෙස නම දිනූ ප්‍රවීණ චිත්‍රපට නළු රොබින් ප්‍රනාන්දු මහතා අද (8) උදෑසන අභාවප්‍රාප්ත වූයේය.
මිය යනවිට අසූ හතර හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය
හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවද සමීප ආරංචි වාර්තා කරයි.
පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු, පවුලේ තුන්වැන්නා ලෙස 1937 ජුනි 15 දින කොටහේනේදී උපත ලැබීය. ඔහුගේ පියා සිරිල් ඇන්තනි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර M.D. ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේ  ප්‍රධානියා ලෙසද සේවය කර ඇත. ඔහුගේ මව වයලට් ඇන්තනි ගෘහණියක් විය. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී.
ඔහු දෙවන ලෝක යුද්ධ සමයේදී කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. කරාටේ සහ ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සඳහාද ඔහු ජාතික වර්ණ ලබා ගත්තේය.

1963 දී පාසලෙන් ඉවත් වූ ඔහු කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවට ගියේය.
ප්‍රනාන්දු 1964 ඔක්තෝබර් 14 වන දින ඔහුගේ සහකාරිය වූ වයලට් ජයවීර සමඟ විවාහ වූ අතර ඔවුනට එක් දියණියක සිටී. ඔහුට වයලට් මුණගැසුණේ 1962 දීය.
ඔහුව චිත්‍රපට අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තට හඳුන්වා දුන්නේ ආරියරත්න කහවිට විසිනි. ඔහුගේ ප්‍රථම භූමිකාව ලැබුණේ හිඟන කොල්ලාය. ආරියරත්න කහවිට විසින් චණ්ඩියා චිත්‍රපටිය සඳහා ඔහු තෝරා ගන්නා ලදී. ප්‍රනාන්දු ඔහුගේ ප්‍රථම සිනමා රංගනය චණ්ඩියා හරහා පැමිණි නමුත් එය තිරගත වූයේ 1964 දීය.1965 චණ්ඩියා චිත්‍රපටය ඔහුගේ ගමන වෙනස් කළ අතර ඉන් ප්‍රකටවී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
ඔහුගේ දෙවන චිත්‍රපටය වූයේ. ධීවරයෝ ය. ඔහු සිංහල චිත්‍රපට 80 කට වඩා රඟපා ඇත.1983 දී ප්‍රනාන්දු සිය ප්‍රථම චිත්‍රපටය සූර දූතියෝ අධ්‍යක්ෂණය කළ අතර එය සත්‍ය සිදුවීම් පාදක කර ගත්තේය.

ඔහුගේ අවසන් අධ්‍යක්ෂණය Ninja Sri Lanka නම් විය.
ඔහුගේ ප්‍රථම රූපවාහිනී රංගනය එංගලන්තයේදී රූගත කරන ලද ශ්‍රියානි අමරසේනගේ ඉර බටු තරුව ය. රොබින් ප්‍රනාන්දුගේ අනෙකුත් රූපවාහිනී කතාමාලා අතර චන්ද්‍රමායා, හැංගිමුත්තම්, පරාදීසය සහ දාමිණි ඇතුළත් වේ.

මහරගම වත්තේගෙදර පාරේ නිවසේදී ඔහු මියගියේය. අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.
2013 වසරේ පැවති රොබින් ප්‍රනාන්දු මහතාගේ උපන්දිනයේ ඡායාරූප එකතුවක් ඔහුගේ මතකය වෙනුවෙන් පහතින් අපි ඉදිරිපත් කරමු.
 
Pix By-Indika Prabath Weerasinghe