pulmude-town-man-found

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ  තම නිවසින් අතුරුදන්ව සිටි කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුව සිටි පුද්ගලයකු පුල්මුඩේ ප්‍රදේශයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දිවිගෙවමින් සිටිය දී සොයා ගත් බව පුල්මුඩේ පොලිසිය පවසයි. පසුව මෙම ව්‍යාපාරිකයා ඔහුගේ ඥාතීන්ට බාර දී ඇත.  පුල්මුඩේ ප්‍රධාන බස් නැවතුම් පොළේ දිවි ගෙවූ මෙම පුද්ගලයාගේ ඥාතීන් ඔවුන් වෙනදා බාරදෙන්නට හැකිවූයේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව පුල්මුඩේ පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් කුලසූරිය (91229) සහ පොලිස් කොස්තාපල් ඉතුල්ලා (90956) යන මහත්වරුන්ගේ උත්සාහයෙන් බව ද පොලිසිය කියයි.. සිය පුතා අතුරුදහන්ව කියා ඔහුගේ වයෝවෘද්ධ මව ද දැඩි ලෙස ගිලන්වී ඇති බවද පොලිසිය පවසයි.

කාගෙන් හෝ ලැබෙන දෙයක් කා කුසගින්න නිවාගෙන පුල්මුඩේ බස්  නැවතුම් පොලේ දිවි ගෙවන මෙම පුද්ගලයා ප්‍රදේශයට ආගන්තුකයකු වූ නිසා  පොලිස් කොස්තාපල්වරු දෙදෙනා මොහුගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට විස්තර විමසා ඇතත් ඔහු කිසිම ප්‍රශ්නයකට පිළිතුරු නොදී නිහඬව සිටි බව ද  පොලිසිය කියයි.

මෙම පුද්ගලයා ළඟ බෑගයක් ද තිබී ඇති අතර එය පරීක්ෂාකර බැලීමට කිසිවකුටවත්  ඉඩ දී නැති බව ද කියති. පසුව මෙම පොලිස් කොස්තාපල්වරුන්  දෙදෙනා මාසයකට වැඩි කාලයක් තිස්සේ  මෙම පුද්ගලයාට ඔහුගේ පෞද්ගලික වියදමින් කෑම බීම ලබාදෙමින් ඔහු සමග හිතවත්කමක් ගොඩ නගා ගෙන තිබේ.

මෙසේ ඇතිකරගත් හිතවත්කම මත එම පුද්ගලයා පසුව පොලිස් නිලධාරින් දෙදෙනා සමග කතා බහ කිරීමටත් සිය ගමන් බෑගය පරීක්ෂාකර බැලීමටත් ඔවුන්ට ඉඩ දී ඇත. ගමන් බෑගයේ මෙම පුද්ගලයාගේ   ජාතික හැඳුනුම්පත්තේ ඡායා පිටපතක් තිබී  සොයාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනා එහි සඳහන් තොරතුරු පොලිස් විශේෂ  කාර්යාංශයේ කොළඹ දකුණ ඒකකය වෙත ලබාදී මොහු ගැන සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ඒ අනුව කළ සොයා බැලීමක දී මෙම පුද්ගලයා හඳුනාගත් පසුව ඔහුගේ ඥාතීන්ට  දැනුම් දී ඇති අතර මොහුගේ සහෝදරයන් පුල්මුඩේ බස් නැවතුම් පොළට ගොස් සිය සහෝදරයා හඳුනාගත් බව පොලිසිය  කියයි.  ධනවත් ව්‍යාපාරිකයකුව සිටි සිය සහෝදරයාගේ බිරිඳ ඔහු අතහැර ගොස් ඇති බවත් එයින් පසුව ඔහු පවත්වාගෙන ආ ව්‍යාපාරික කටයුතු බංකොලොත් වූ බවත් සහෝදරයන් පොලිස් නිලධාරීන් සමග පවසා ඇති බව කියති.  මීට මාස 2 කට පමණ පෙර තම   සහෝදරයා නිවසින් අතුරුවීම නිසා තම මව දැඩි ලෙස කනගාටු වූ බවත් එදින සිට  මොහු සොයා ගැනීමට තමන් බලවත් උත්සාහයක් දැරූ බවත් එම ඥාති සහෝදරයන් පොලිසියට පවසා ඇතැයි ද කියති.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-