neela-wicremasinghe-funeral

ප්‍රවීණ ගායිකාවක සහ සංගීත අධ්‍යක්‍ෂවරියක වූ, අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කරමින් සිටි විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු එරට දී පෙරේදා (17) අභාවප්‍රාප්ත වූවාය.  



දේහය මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති අතර ඊට අදාළ කටයුතු අවසන් වූ පසුව, ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දේහය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස ඇය ඉකුත් 29 වැනිදා වැඩ බාරගත් බව ද එම නිවේදනයෙහි සඳහන්ය. 

නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය බලවත් ශෝකය පළකරන බවත්,


ඇයගේ  පවුලේ සාමාජිකයන් වෙත සාතිශය සංවේගය පළ කරන බවත්  එම නිවේදනයෙහි සඳහන්ය.  ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති නීලා වික්‍රමසිංහ මහත්මිය  කොළඹ විශාඛා විද්‍යාලයේ සහ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ආචාර්යවරියක ලෙස ද සේවය කළාය. ඇය සරසවිය, සුමති, ජනාධිපති ආදී සම්මාන ගණනාවකින් ද පිදුම් ලබා ඇත.  දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන අයුරු පසුව දැනුම් දෙනු ඇත.