mrs-World-2021-Crownd-to-America-6th-place-for-Pushpika-in-Sri-Lanka

2021 ලෝක විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරගය ඊයේ ඇමරිකාවේදී පැවති අතර කිරුළදිනාගත්තේ ඇමරිකාවයි. ශ්‍රී ලංකාව පළමු 6 අතරට තේරිණි.
මෙම අවසන් තරගයට යාම සඳහා ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගය පසුගිය වසරේ විශාල කථාබහක් ඇති කරන්නට සමත්වූ එකකි. එහිදී කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීම හා යළි කිරුළු පැළඳීම ලෝකයේම මාධ්‍ය අතර පුවත් මැවූ සිදුවීමකි.

ඊට පෙර 2020 වසරේදී ලෝක කිරුළ හිමිකරගත් කැරොලයින් ජූරිට කිරුළ අහිමිවන්නටද එම සිදුවීම හේතුවිය.
2021 ලෝක විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරගය ලංකාවේ පවත්වන්නට මින් ඉහත සැලසුම් කර තිබුණත් පසුව එය ලංකාවේ නොපවත්වා ඇමරිකාවේ පවත්වන්නට තීරණය වූ අතර පසුගිය 12 වනදා සිට දින කිහිපයක්ම විවිධ තරග වට පවත්වා අවසන් මහා තරගය ලාස් වේගාස් හි නෙවාඩා හිදී ජනවාරි 15 රාත්‍රී පැවැත්විණි. එහිදී ඇමරිකානු තරගකාරිය වූ ෂෙලින් ෆෝර්ඩ් සිය මව් රටේදී කිරුළ දිනාගත් අතර, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනුශූරතාවන් පිළිවෙලින් ලබාගන්නා ලදි.

අවසාන 6 දෙනා තේරූ අවස්ථාවේ ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ගිය පුෂ්පිකා ද සිල්වා තේරී තිබීම විශේෂත්වයකි. කොරෝනා වසංගතය ඇතුළු විවිධ බාධාකාරී හේතු නිසා මෙවර තරගාවලිය නියෝජනය කළේ රටවල් 57 ක් පමණි.

ඔහියෝ ප්‍රාන්තයේ ග්‍රැන්විල් ප්‍රදේශයෙන් පැමිණි කිරුළු පැළඳී ෂෙලින් ෆෝර්ඩ් 37 හැවිරිදි තිදරු මවකි. ඇයට කිරුළ පළඳන්නට නියමිතව තිබුනේ පෙර ජයග්‍රාහිකා ලංකාවේ කැරොලයින් ජූරි අතින් වුවත් ගිය අවුරුද්දේ කලබගෑනියෙන් පසු ජූරිගේ කිරුළ ඉවත් කර තිබූ බැවින් 2020 අනුශූරිය වී පසුව කිරුළ හිමිකරගත් කේට් ෂ්නයිඩර් නව ජයගග්‍රාහිකාවට කිරුළ පළඳවන ලදි.
මෙවර ප්‍රධාන තරග අවස්ථාවට පෙර ඉසව් කිහිපයක් සඳහාද තෑගි පිරිනැමූ අතර මෙක්සිකෝව,ජර්මනිය,එක්සත් අරාබි එමීරය, ඉන්දියාව,බ්‍රසීලය, හා තායිලන්තය එම ඉසව් දිනාගෙන තිබුණි.