ලෝකය අද සිටින්නේ සිවුවැනි කාර්මික විප්ලවයේ වුවද මෙරට තවමත් සිටින්නේ දෙවැන්නේ බවත්, පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන දරුවන් ලිවීම සහ ගණිත හැකියාවෙන් යුත් පිරිසක් බිහිවුවද රටකට අවශ්‍ය වනුයේ ජාතික ආර්ථිකයට ක්‍රියාශීලීව දායක කරගත හැකි පුරවැසියකු බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.ඒ මහතා මේ බව පැවසුවේ, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දි එම පත්වීම් ප්‍රදානෝත්සවයට පසුගියදා එක් වෙමිනි.



අනුමත සේවක සංඛයාවට පරිබාහිරව දෙවසරක අනුයුක්ත පදනම මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ විෂය මාලා නවීකරණ කටයුතු වෙනුවෙන් මෙම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බදවාගන්නා ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා,  "පවතින අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩු ලෙස හඳුනාගෙන තිබෙන ජාතික අරමුණු සහ මූලික නිපුණතා ප්‍රමාණවත් ලෙස පිළිබිඹු නොවීම, පැහැදිලි න්‍යයාත්මක පදනමක් මත පදනම් නොවීම, විධිමත් පර්යේෂණ අනාවරණ මත පදනම්ව විෂයමාලා සංවර්ධනය නොවීම, විෂය මාලාවේ තිරස් හා සිරස් සමෝධානය ආරක්ෂා නොවීම, අධික ශාස්ත්‍රීය නැඹුරුවඅධික විභාග කේන්ද්‍රීය බව, වෙනස්වන ගෝලිය තත්වයන්ට නොගැලපීම, සිසු හෝ සමාජ අපේක්ෂා සපුරාලීමට අසමත් වීම,

රැකියා අපේක්ෂිතයන්ගේ මෘදු කුසලතා සංවර්ධනය අවධාරණය නොවීම, පවතින අධ්‍යාපන ක්‍රමය සහ ශ්‍රම වෙළඳපොළ අතර නොගැළපීම ආදිය හඳුනාගෙන තිබෙනවා. මේ ගැටලුවලට ආමන්ත්‍රණය කළ හැකි නව පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සදහා වන රජ්‍යයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ගුරුවරුන් අතරින් පළපුරුදු අත්දැකීම් සහිත තෝරාගත් 129දෙනෙකු ජාතික අධ්‍යාපන ආයතනයට සහකාර කථිකාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ලෙස වසර 02ක් සදහා බදවා ගැනීමට කටයුතු කළා. අපි දැනට පවතින අධ්‍යාපන ක්‍රමයන් මූලිකත්වය දී තිබෙන්නේ දැනුමටයි. තවමත් ඒ තුළින් අපී බිහි කරන්නේ කියවීම, ලිවීම සහ ගණිත හැකියාවෙන් යුත් දරුවන් පමණි.

ලෝකය අද සිටින සිවුවන කාර්මික විප්ලවයේවුවද අප තවමත් සිටින්නේ දෙවැන්නේයි. එනම් අපි සිටින්නේ ලෝකයට පිටුපසින්,

2023 සිට හඳුන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් එපිටට යමින් ජාතික ආර්ථිකයට ක්‍රියාශීලීව දායක කරගත හැකි පුරවැසියකු බිහිකිරීම, කාර්යක්ෂම හා සඵලදායී පුරවැසියෙක් බිහිකිරීම, ව්‍යවසායකයෙකු සහ ව්‍යාවසායකත්ව මනසකින් යුත් පුද්ගලයෙකු බිහිකිරීම, දේශප්‍රේමී පුරවැසියෙකු බහිකිරීම, යහපත් මනුෂයෙක් බහිකිරීම සහ සතුටින් සිටින පවුලක සාමාජිකයකු මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ බිහිකිරීමට අපේක්ෂා කරනවා. ගෝලීය අවශ්‍යතා හඳුනාගනිමින්, දේශීය අවශ්‍යතා සමග බද්ධවෙමින්, එම අවස්ථා කළමනාකරණය කරන්නට සමත් සුහුරු පුරසියෙකු බිහි කිරිමටත් බුද්ධිමත්, විචාරශීලී සහ තර්කානුකූල රටේ ආර්ථික ක්‍රියාවලිය තුළ එලදායී කාර්යක්ෂම හා සක්‍රීය සේවාදායකත්වයක් ලබා දියහැකි මිනිසකු තැනීමටත් අභියෝග පසුපස හඹා යන රැකියා ඉල්ලන කෙනෙකු නොව රැකියා සපයනක් බිහි කිරීමටත්,

උපන් රට අතර විදෙස්වලට පදිංචියට යන්න නොව රටට ආදරය කරන පුරවැසියෙක් බිහි කිරීමටත්, අවංක, සෘජු සදාචාරාත්මක, සංවේදී පුද්ගලයෙකු බිහිකිරීමටත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් අපේක්ෂ කරනවා” යැයි පවසා සිටියේය.එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කර , දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන හා විවෘත විශ්වවිදයාල රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා 2024 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් ක්‍රමවේදයෙන් 50%ක් විභාග මූලිකවද 50%ක් වෙනත් තක්සේරුකරණ ක්‍රම මගින් සිදුකිරීමටත් අපේක්ෂා කරන බවද පැවසීය.

( සාකල්යා සඳමාලි )