Dads-money-was-not-stolen---Dad-went-to-the-hospital-to-see-a-patient-Namal

අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් මේ දිනවල පැතිරයන ආරංචි දෙකක් අගමැති පුත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මාධ්‍ය කණ්ඩායමක් හමුවේ අද (26) සවස ප්‍රතික්ෂේප කළේය.


එක් ආරංචියක් වූයේ මහින්ද රාජපක්ෂගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ගිණුමකින් අනවසරයෙන් රුපියල්කෝටි තුනහමාරක් පමණ ඒටීම් කාර්ඩ් එක ආධාරයෙන් මුදල් ලබාගෙන ඇති බවත් ඒවා හසුවීමෙන් පසු රාජපක්ෂ පවුලේ අය කළ පැමිණිල්ල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇති බවයි. මෙම පුවත ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය තුළ ඉහළ ප්‍රමුඛතාවෙන් අද පළවිය.


නමුත් නාමල් රාජපක්ෂ ඒ ගැන කියා ඇත්තේ වෙනස් කතාවකි.

‘මම එහෙම ආරංචියක් නං මමත් දැක්කෙ පත්තරෙන්. මං දන්න විදිහට එහෙම දෙයක් වෙලා නෑ.තාත්තගෙන් තමයි අහන්න ඕන එහෙම දෙයක් වෙලා තියනවාද කියලා. සාමාන්‍යයෙන් තාත්තලගෙ සල්ලි ගන්නෙ පුතාලනේ.මේක වෙන එක්කෙනෙක් කරා කියල තමා කියන්නෙ. මං ඒක ගැන කියන්න දන්නෙනැහැ. පහුගිය කාලෙ හරියට වැරදි ආරංචි ගියා.මේක එහෙම එකක්‘

මේ අතර අනෙක් ආරංචිය වූයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කොළඹ පුද්ගලික රෝහලක මුඛය ආශ්‍රිත ශල්‍යකර්මයකට මුහුණදුන් කතාවකි. ඒ වෙනුවෙන් රෝහල්ගතවී සිටි බවටත් ආරංචියක් පැතිර ගිය අතර එම කතාවද නාමල් ප්‍රතික්ෂේප කළේය.



‘මගේ පියා ඉස්පිරිතාලෙ හිටියා කියල තිබ්බා ඉස්පිරිතාලෙ හිටියෙත් නෑ.තාත්තයි මායි ලෙඩෙක් බලන්න නම් ගියා. ලෙඩෙක් විදිහට ගියේ නැහැ. බලපු කෙනාගෙ සැත්කමක් කළාද දන්නෙ නැහැ.
මාධ්‍ය සදාචාරයට පටහැණියි යම් පුද්ගලයෙකුගෙ මෙඩිකල් කන්ඩිෂන් එක කියන එක.ඒ නිසා මං අනුමත කරන් නැහැ ඒක.‘

මේ අතර අද සවස ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර ඇත්තේ ඒටීම් මුදල් වංචාව සම්බන්ධයෙන් කිසිවක් කිරීමට අවශ්‍ය නැති බවට අගමැතිවරයා දන්වා ඇති නිසා මෙම කතා පරිච්ඡේදය එතැනින් අවසන් කර ඇති බවකි.