An-explanation-from-Port-City-about-the-charge-for-taking-photos

කොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව කොළඹ වරාය නගර පරිපාලනය අවධාරණය කරයි.





පසුගියදා කොළඹවරාය නගරය තුළ සිදුකරන වාණිජ මට්ටමේ ඡායාරුපගත කිරීම් සහ වීඩියෝගත කිරීම් සඳහා අය කරන ගාස්තු සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිබඳව ලැබුණු ප්‍රතිචාර වෙත නිවේදනයක් මගින් පිළිතුරු ලබා දෙමින් එම පරිපාලනය මෙම කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව මෙහිදී සිදු කර ඇත්තේ පෞද්ගලික උත්සව සහ වෘත්තීය/ වාණිජමය ඡායාරූප හා වීඩියෝ සඳහා ගාස්තු ක්‍රමවේදයක් පමණක් බවත්, පෞද්ගලික උත්සව, විවාහ මංගල උත්සව, නිෂ්පාදන හෝ විලාසිතා ප්‍රවර්ධන කටයුතු, ගීත රූප රචනා, වෙළඳ දැන්වීම් හෝ වෙනත් වාණිජ අරමුණු සඳහා සිදුකරන ඡායාරූප ගැනීම් හෝ වීඩියෝ පටිගත කිරීම් සඳහා පමණක් නව ගාස්තු ක්‍රමවේදය අදාළ වනු ඇතැයිද කොළඹ වරාය නගරය පවසයි.

මෙම නව හඳුන්වාදීම යටතේ කිසිදු ලෙසකින්වත් සිය ජංගම දුරකන හෝ කැමරා භාවිතයෙන් කොළඹවරාය නගරයේදී ලබා ගන්නා සෙල්ෆි ඡායාරූප හෝ වීඩියෝ සඳහා ගාස්තු අය කිරිමක් සිදු නොවන බව එම නිවේදනයේ සඳහන්ව තිබේ.   

මෙමගින් ලැබෙන ආදායම, කොළඹ වරාය නගරයේ පොදු ස්ථාන කළමනාකරණය කරන Estate Management Company (EMC) සමාගම වෙත බැර වන අතර එම මුදල් නඩත්තු කටයුතු සඳහා භාවිතා වන බවට ව්‍යාපෘති සමාගම පැහැදිලි කර සිටියි.