One-of-you-is-the-4th-asked-Maithri-Lohan

ඇමරිකාවේ පැවැති ලෝක රූ රැජන තරගයේ දී ලංකාව නියෝජනය කළ පුෂ්පිකාද සිල්වා හතරවැනි ස්ථානය ගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණි. 

නමුත් සිකුරාදා (21 වැනිදා) වන විට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වූ වීඩියෝවකින් සනාථ වූයේ ඇය එවැනි ස්ථානයක් ගෙන නොමැති බවය. මෙම සිද්ධිය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේද මෙම සතියේ දී අවධානයට යොමු වූහ. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ දිවා ආහාරය ලබා ගෙන යළි විදුලි සෝපානය වෙත පැමිණෙමින් සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වී තිබේ.



හිටපු ජනාධිපතිවරයා, රාජ්‍ය අමාත්‍යවරයා හා තවත් තරුණ මන්ත්‍රිවරු පිරිසක් විදුලි සෝපානයට නැග ගමන් කරන විට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ‘‘ලොහාන් ඔයා මට ඊයේ රාත්‍රියේ ටී.වී. බලනකොට මතක් වුණා.’’ යනුවෙනි. දැඩි කලබලයට පත් වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේ ‘‘මාව මතක් වුණේ මොකද?’‘ යනුවෙනි.


‘‘ඇයි ඔයාගේ එක්කෙනා ලෝකයේම හතර වෙලානේ’’ යනුවෙන් හිටපු ජනාධිපතිවරයා කියන විට රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ‘‘සර් රූප සුන්දරියන්ට හරිම උනන්දුයි වගේ’’ යනුවෙනි. විදුලි සෝපානයෙන් බැස පාර්ලිමේන්තු ලොබියට එන විට අමාත්‍ය රමේෂ් පතිරණ මොවුන්ට හමු වූහ. ‘‘රමේෂ් දන්නවාද ලොහාන් හරිම සතුටින් ඉන්නේ. මෙයාගේ එක්කෙනා ලෝකයේම හතරවැනියා වෙලා. පේන්නේ නැද්ද පෙම් පාට.’’ යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සියලු දෙනාම සිනහ ගන්වමිනි. 

(සතිඅග අරුණ)