75th-Anniversary-of-Cinema-and-50th-Anniversary-of-the-National-Film-Corporation

ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සම්පූර්ණ වීම හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි.


සමරු උත්සවය ආරම්භයේ දී ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කළ දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයකට ප්‍රවිණ රංගන ශිල්පීන් දෙපළක් වන රවින්ද්‍ර රන්දෙණිය සහ මාලනී ෆොන්සේකා, චිත්‍රපට සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වන අතුල රෝහණසිරි, චන්ද්‍රිකා ශ්‍රීමතී හෙට්ටිආරච්චි මහත්ම මහත්මීහු විසින් පුෂ්පෝපහාර දක්වනු ලැබූහ.


ජාතික සිනමාව අතික්‍රමණය කරමින් ජගත් අවධානයට පාත්‍ර වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙහි දී ගෞරව සම්මාන පිරිනැමිණි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ අරුණ ජයවර්ධන, සංජය නිර්මාල්,  රංජන් ප්‍රසන්න, රනිල් ඉන්දික රුවන්පතිරණ, අසංක මිහිර වර්ණකුලසූරිය, හසන්ත ප්‍රභූති දිසානායක, චින්තක දුමිත් බණ්ඩාර යන නවක සිනමාවේදීහු ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙහි දී සම්මාන හිමි කරගත්හ.
චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 50වන සංවත්සරය සඳහන් රුපියල් විසිපහක වටිනාකමින් යුතු සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම ද මෙහි දී සිදුවිය.
තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය  තැපැල්පති රාජිත කේ රණසිංහ, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම මහත්වරු අදාළ සමරු මුද්දරය හා මුල්දින කවරය පළමුව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාටත් එතුමා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් පිරිනමන ලදි.
ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් 25දෙනෙකු වෙනුවෙන් විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරිමද මෙහිදී සිදු විය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා අතින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රත්නවීර ද සිල්වා, ප්‍රවිණ සංස්කරණ ශිල්පී ගිවන්ත අර්ථසාද්, ප්‍රවීණ ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්න, ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු, ප්‍රවිණ චිත්‍රපට පසුබිම් ගායිකා රූපා ඉන්දුමතී මහත්ම මහත්මීහු පිරිස මෙහි දී විශ්‍රාම වැටුප් හිමිකර ගත්හ.



“චිත්‍රපට සඟරාව”, “පශ්චාත් නූතන සිනමා ග්‍රන්ථය” සහ “සිංහලේ මහා සිනමා වංශය” යන ග්‍රන්ථ මෙහිදී  එළිදැක්විණි.
ශ්‍රී ලාංකේය සිනමාවේ එදා මෙදාතුර ගමන් මග මැයෙන් ප්‍රවීන සිනමා විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා විසින් මෙහි දී සමරු දේශනයක් පවත්වන ලදි. චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් සමරු ආවර්ජනය ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා පැවැත්වීය.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,  කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බී.වයි.ජී රත්නසේකර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස, සාමාන්‍යාධිකාරී රවි ප්‍රසාද් කළුපහන, තැපැල්පති රංජිත් ආරියරත්න, මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.