bandaragama-incident

බණ්ඩාරගම, අලුත්ගම විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ නිවසට කඩු පොල රැගෙන කඩා වැදුණු සංවිධානාත්මක කල්ලියක් ඔහුගේ රූමත් දියණිය පෙරේදා (9) රාත්‍රී පැහැරගෙන ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ සේවය කරන 25 හැවිරිදි තරුණියකි.   පැහැර ගැනීම සඳහා පැමිණි එක් පුද්ගලයකු නිවැසියන් විසින් අල්ලාගෙන පහරදීමෙන් අනතුරුව පොලීසියට බාර දී  එම සැකකරු මේ වනවිට පානදුර මූලික   රෝහලේ ප්‍රතිකාර ලබන අතර තියුණු ආයුධ පහරට ලක්ව තුවාල ලද විශ්‍රාමික පොලිස් සැරයන්වරයා බණ්ඩාරගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.



රාත්‍රී 10ට පමණ වෑන් රථයකින් කඩු පොලු අතැතිව පැමිණි හය දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවසේ දොර  වලට තියුණු ආයුධවලින් පහරදී අනතුරුව දොර කඩා නිවසට ඇතුළු වී විශ්‍රාමික පොලිස් සැරයන්වරයාට මෙන්ම නිවසේ බඩු බාහිරාදියටද පහරදී ඇතැයි පොලිසිය කියයි.  පිරිසක් නිවස තුළට කඩා වැදී කලබල කරන බවට කන වැකුණු විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ පුතෙකු වහා එම ස්ථානයට කඩා පැන පුද්ගලයකුට පහරදී කාමරේකට දමා දොර වසා ගෙන තිබු අතර අනෙක් පුද්ගලයන් පොලිස් සැරයන්වරයාගේ දියණිය රැගෙන වෑන් රථයකින් පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

සිද්ධිය සැලවීමත් සමඟ මෙම ස්ථානයට පැමිණි බණ්ඩාරගම පොලිසියේ නිලධාරින්ට අල්ලාගෙන සිටි පුද්ගලයා  භාරදී ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේදී පැමිණි පිරිස පිළියන්දල, මඩපාත හා බටුවන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

ැමිණි පිරිස සිදුකළ පහරදීමෙන් වූ තුවාල හේතුවෙන් නිවසේ තැන තැන ලේ පැල්ලම් රැසක් දක්නට ලැබුණු බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  පැහැරගත් බව කියන තරුණියගෙන් සිද්ධිය වී පැයකට ආසන්න කාලයකදී මවට දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර මෙම සිද්ධියට පොලිසි නොයන ලෙස තම දියණිය කියූ බවට ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබිණි.

පැහැරගැනීමට ලක්වූ බව කියන තරුණිය විවාහ කර ගැනීම සඳහා පුද්ගලයකු නිවසට පැමිණෙන බවටද විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි.  පැහැර ගැනීමට පැමිණි කණ්ඩායමේ සිටිය පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ශල්‍යකර්මයකට ලක්කිරීමට නියමිත බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. තරුණිය පැහැර ගැනීමට පැමිණි සන්නද්ධ කල්ලියේ සිටි පුද්ගලයන් අතර පෞද්ගලික බස්රථ රියැදුරකු ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි  උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.  තරුණිය පැහැර ගැනීමට පැමිණි කල්ලියේ අනෙකුත් සාමාජිකයන් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙද වූ බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-