The-son-who-killed-the-millionaire-father-with-a-tie-to-get-the-property-will-not-be-granted-bail

කෝටිපති ව්‍යාපාරික සිය පියාගේ සියලු දේපළ තමන් සතු කරගැනීම සඳහා ටයි පටියකින් පියාගේ ගෙල සිරකර ඔහු මරා දැමුවේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත් කොට සිටින සැකකාර පුත්‍රයාට ඇප නියම කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (10) දා ප්‍රතික්ෂේප කළේය.



මෙම අපරාධයේ ප්‍රධානම සාක්ෂිය වන්නේ ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මෙන්ම විත්තිකරුගේද කළමනාකරු වශයෙන් කටයුතු කළ බව කියන පුද්ගලයා වන හෙයින් සැකකරුට ඇප නියම කළහොත් මෙම සිද්ධියේ විමර්ශනවලට බාධාවක් විය හැකි බව සඳහන් කරමින් මංජුල තිලකරත්න විනිසුරුවරයා සැකකරුට ඇප නියම කිරීම ප්‍රතික්‍ෂේප කළේය. මෙම අපරාධයට අදාළ විමර්ශන නීතිපතිවරයාගේ උපදෙස් මත සිදු කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියම කළ විනිසුරුවරයා රහස් පොලිස් නිලධාරීන් විමර්ශන සිදු කරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මතද යන්න පිළිබඳ අධීක්‍ෂණය කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියම කළේය.

ටයි පටියකින් ගෙල සිරකර සිය පියා මරා දැමුවේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත් කොට සිටින අලි ගුලාම් හුසේන් නමැති සැකකාර පුත්‍රයාට ඇප නියම කිරීම විනිසුරුවරයා විසින් මෙලෙස ප්‍රතික්ෂේප කෙරිණි. මීට දෙවසරකට පෙර කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි  කාර්යාලයකදී කෝටිපති ව්‍යාපාරික හුසේන් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රහස් පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරු පියාගේ සියලු දේපළ තමන් සතු කර ගැනීමේ අරමුණින් සිය පියාගේ කාර්යාලයේදී

පියාගේ මෙන්ම සැකකරුගේද කළමනාකරු වශයෙන් කටයුතු කළ චමින්ද චන්ද්‍රකුමාර නමැත්තාගේ සහාය මත ටයි පටියක් උපයෝගී කරගනිමින් මෙම ඝාතනය කොට ඇති බව හෙළි වී තිබීණි.

ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු රිමාන්ඩ් භාරයට පත් කොට ඇති අතර, තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔහු අධිකරණයට ඇප අයැදුමක් ඉදිරිපත් කර තිබිණි.ඤඒ සම්බන්ධයෙන් කළ විමසීමකින් අනතුරුව සැකකරුගේ ඇප අයැදුම විනිසුරුවරයා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී.



(බුද්ධිමාල් රුබේරු)