A-tuition-teacher-who-cheated-to-be-sent-to-Dubai-has-been-caught-embezzling-Rs-1-8-million

ඩුබායි රැකියා ලබා දෙන බව පවසමින් 18  දෙනකුගෙන් රුපියල් විසි අට ලක්ෂ  අසූදහසක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු පොලොන්නරුව කරුදුවෙල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිගම පොලිසිය පවසයි. සැකකරු 37 හැවිරිදි දෙදරු පියකු වන අතර ඔහු පානදුර ප්‍රදේශයේ කාන්තාවක විවාහ කරගෙන දැනට පොලොන්නරුව‍ෙ කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින බව පොලිසිය කියයි. ඔහු පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරයකු  වශයෙන් කාලයක් තිස්ස වැලිගම, අකුරැස්ස, පානදුර, කුරුණෑගල, ඇහැළියගොඩ,  අනුරාධපුරය ප්‍රදේශවල පන්ති පවත්වා ඇති බවත් ඊට පසු කාලයක් කුඩා මැණික් ගල් මිලදී ගෙන විකිණීම ද කරගෙන ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.



සැකකරු වැලිගම දේවස්ථානයක පූජකවරයකු සමඟ නිවෙසක් අලුත්වැඩියා කිරිමද, තවත් නිවසකට ජලය ලබා දීම ද සිදුකර විස්වාසය දිනා ගැනීම නිසා පූජකවරයා තම අනුගාමිකයන් දෙදෙනකු ද ඩුබායි රටේ රැකියා සඳහා යැවීමේ අරමුණෙන් සැකකරු වෙත යොමු කර තිබෙන බව විමර්ශනවලින් හෙළි වී ඇත.  සැකකරු ඔවුන් දෙදෙනාට පෞද්ගලික බැංකු දෙකක ගිණුම් අංක දෙකක් ලබා දී එයින් එකකට රුපියල් හැටදහසක මුදලක් බැර කරන ලෙස දන්වා තිබේ.  එම මුදල බැර කළ පසු තවත් ලක්ෂය බැගින් අවශ්‍ය බව පවසා තුන් ලක්ෂ විසිදහසක මුදලක් ඔවුන් ලවා බැංකුගත  කරවාගෙන ඇතැයි  හෙළි වී තිබේ. ඩුබායි රටේ විශාල රැකියා සංඛ්‍යාවකට පුද්ගලයන්  යැවිය හැකි බව පූජකවරයාට පවසා ඇති අතර ඒ අනුව රැකියා ලබා ගැනීමට තවත් දහසය දෙනකු ඉදිරිපත් වී ඔවුන්ගෙන්ද රුපියල් එක්ලක්ෂ හැටදහස බැගින් බැංකුගත කරවාගෙන තිබේ.

ඒ අනුව දහඅට දෙනකුගෙන් රැකියා ලබා දෙන බව පවසා මෙසේ මුදල් බැංකුගත කරවාගෙන ඇති බව පොලිසිය කියයි.

කාලයක් ගතවීත් රැකියාවලට නොයැවූ බැවින් ඔවුන් දහඅට දෙනා සැකකරුට විරුද්ධව පැමිණිලි දහඅටක් වැලිගම  පොලිසිය වෙත කර තිබේ. වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂක ඩී. එම්. අබේස්කර මහතා සැකකරු වහා  සැකකරු ඊයේ (10) මාතර මහේස්ත්‍රාත්  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව  සිටියේය. වැලිගම පොලිසිය පරීක්ෂණ කටයුතු කරගෙන යයි.


 -සුනිල් ධර්මබන්දු සිල්වා -