ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි, ශ්‍රී ලංකා විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා සහ නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍රන් නමැති තිදෙනා සමථ මණ්ඩලය හමුවට කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල කුරුඳුවත්ත පොලිසියට ඊයේ (10 වැනිදා) නියෝග කළේය.
2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගයේදී එහි කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වාගේ හිස මත රැඳි කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයගේ හිසට සුළු තුවාල සිදු කිරීම හා සාපරාධී බිය ගැන්වීමක් සිදුකර බලපෑම් කිරීම සම්බන්ධයෙන් කැරොලයින් ජූරිට සහ චූලා පද්මේන්ද්‍රන්ට චෝදනා එල්ලා වී තිබිණි. මෙම සිද්ධියේදී රුපියල් ලක්ෂ හතක් වටිනා රජයේ දේපළවලට අලාභහානි සිදුවී ඇතැයි පොලිසිය මීට ඉහතදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.
එම අලාභය විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකයන් විසින් මේ වනවිට පියවා ඇති බැවින් පොදු දේපළ පනත යටතේ වන චෝදනාව ඉවත් කර සාපරාධී බියගැන්වීම සම්බන්ධයෙන් කැරොලයින් ජූරිට සහ චූලා පද්මේන්ද්‍රන්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය චෝදනා ඉදිරිපත් කර තිබිණි.
(ඉෂාර රත්නකාර)
Comments
Post a Comment
Your comment will be visible after approval