Bhanuka-Rajapaksa-to-America-with-his-wife-An-occult-story-about-the-reason-for-his-resignation

හදිසි තීරණයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඊයේ සමුගත් ප්‍රවේගකාරී නැගී එන තාරකාව භානුක රාජපක්ෂ එලෙස සමුගැනීමෙන් අනතුරුව ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා යොමුවන බවට ආරංචි ලැබී තිබේ.ඔහු සමග ඊයේ අස්වන ලිපිය භාරදුන් ඇන්ජෙලෝ පෙරේරාද ඇමරිකාවට යාමට නියමිත බව වාර්තා විය.
භානුක ඉල්ලා අස්වීමට ඇත්තම හේතුව ‘ෆිට්නස්‘ හේතුවක්ද යන්න දැනට සැකයට භාජනයවී ඇති අතර පවුලේ අවශ්‍යතාවක්ද නැතිනම් ගුප්ත විද්‍යා ශාස්ත්‍රීය උවමනාවක්ද යන්න ගැනද කතා පැතිර තිබේ.
ඇදවැටී තිබුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්නට යංතම් බලාපොරොත්තු ලැබෙමින් පැවති වකවානුවේ එහි අනාගත යෝධ ශක්තියක් වනු ඇතැයි ක්‍රීකට් ලෝලීන්ගේ නොමද අපේක්ෂා ඇතිකළ භානුක කුසුම පිපෙන්නටත් පෙර පරවී යාම ඊයේ දිනයේ ක්‍රිකට් ක්ෂෙත්‍රයට ඇති කළේ මහත් කණස්සල්ලකි.

විස්සයි20 තරග 18 ක් හා එක්දින තරග 5 ක් පමණක් ක්‍රීඩාකර පිළිවෙලින් 104 ක හා 134 ක ලකුණු ලබාගැන්මේ සාමාන්‍යයක් වාර්තා කර තිබූ වයස 30 ක් වූ භානුකට විශාල ඉදිරියක් තිබුණ බව බොහෝ තැන්වල කතා ඇති විය.

එල්පීඑල් තරගාවලියේ අනුශූරතා දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකයා වූයේද භානුකයි. ඔහුව ඉදිරි බීපීඑල් තරගාවලිය සඳහා තෝරාගෙන තිබූ අතර ජනවාරි 21 වනදා එයට යන්නට නියමිතවුවත් ඔහු ඒවායින්ද ඉවත්ව ඇත.
ජනවාරි 16 සිට 21 දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ එක්දින තරඟාවලියත් රාජපක්ෂ අහිමි කරගෙන තිබේ.
භානුකට ප්‍රශ්නක් තිබුනේ නම් මීට වඩා වේලාව ගෙන එය විසඳාගන්නට ඉඩ තිබියදී අවසන් තීරණය තමාම ලබාගෙන ඉල්ලා අස්වීම ගැටලුකාරී බව ක්ෂෙත්‍ර ආරංචි හෙළි කර තිබේ.
යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීමට නොහැකි නිසා ඔහු අස්වූ බවට මුලින්ම මාධ්‍ය වෙත තොරතුරු ආවත් ඇත්ත හේතුව එයම විය නොහැකි බව වාර්තාවේ.
යෝග්‍යතා ප්‍රශ්නය ගැන ඔහු කතා කර තිබුනේ මීට කලකට ඉහතදී එංගලන්ත සංචාරයකට යාමට පෙරයි. ඔහු ඒ ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වීම නිසා ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව දඩයක්ද පනවා තිබුණි.
ඊයේ අස්වීමේ ලිපියේ ඔහු ප්‍රකාශ කර තිබුනේ “පවුලේ වගකීම්” සලකා බැලීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.

"මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්ත්වය ඉතා හොඳින් සලකා බලා, මෙම තීරණය ගන්නේ පිතෘත්වය සහ ඒ ආශ්‍රිත පවුල් බැඳීම් අපේක්ෂාවෙන්" යැයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.
ඔහුගේ බිරියට දරුවෙකු ලබන්නට සිටින බවත් ක්‍රිකට් අතැර ඇය සමග වෙනම පවුල් ජීවිතය ගතකිරීම අපේක්ෂාව බවත් එයින් ඉඟි කෙරිණි.

රාජපක්ෂ සමග ඊයේ ලියුම භාරදුන් ඇන්ජෙලෝ පෙරේරා 2019 න් පසු ජාතික කණ්ඩායමට ඇතුළත් නොවූ අයෙකි. කෙසේ වෙතත් ඇන්ජෙලෝගේ පියා අද දින ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ තම පුතාට ලංකාවේ ආර්ථිකය සමග අනාගතයක් නැතිනිසා දරුවෙකු ලබන්නට සිටින බිරිය සමග විදෙස් ගතවීමේ තීරණය ලබාගත් බවයි.
මේ දෙන්නාම ඇමරිකාවට යනු ඇති බව අභ්‍යන්තර වාර්තා සඳහන් කර තිබේ.

මේ දිනවල ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඉල්ලුමක්ද පවතී.
මේ අතර භානුක රාජපක්ෂ ලංකාවෙන් ඉවත්ව යාම එක්තරා ආගමික කල්ලියක පාස්ටර් වරයෙකුගේ උපදේශයක් මත සිදුවී ඇතැයි ද  ආරංචියක් පැතිර පවතී.
 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ ඔහු රැඳී සිටීමෙන් අනාගතයට වාසි නොවන බවටත් භානුකගේ අනාගතය හොඳින් සකස්වෙන්නේ
අන්තර්ජාතිකව පැවැත්වෙන කණ්ඩායම් තරගවලට සහභාගී වීමෙන් බවත් මෙම පාස්ටර්වරයා අනාවැකි පළ කර ඇති බවත් ඒ අදහසට අනුව ඔහු මෙම තීන්දුව ගෙන ඇති බවත් එම ආරංචියෙන් පැවසේ. මෙම ආරංචිය සනාථ කරන ඉඟියක් භානුකගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ මීට සතියකට පමණ පෙර සඳහන්වූ බවද කියැවේ.
භානුක මුලින්ම තාරකාවක් ලෙස මතුවූයේ ප්‍රබල පකිස්තානයට එරෙහිව  2019 පැවති විස්සයි20 තරගාවලියකිනි. මෙම තරගාවලියෙන් පසුව ඔහු මාධ්‍ය ඉදිරියට පැමිණ දැක්වූ අදහසකින් දේව විශ්වාස ගැන ඔහුගේ තිබෙන භක්තිය හෙළි කරයි.
“මම කැපවී මගේ ආගම කෙරෙහි දැඩි විශ්වාසයක් තබා සිටින්නෙක්, මම වසර දහයකට ආසන්න කාලයක් බලා සිටි ජාතික කණ්ඩායමට පැමිණීමට දෙවියන් වහන්සේ මට සැමවිටම ආශීර්වාද කළා. මගේ සාර්ථකත්වය වී ඇත්තේ වේග පන්දු යවන්නන්ට වේලාසනින් පහර දීම සහ පසුව දඟ පන්දු යවන විට එය ශක්තිමත් කිරීමයි,

”රාජපක්ෂ පැවසූ බව 2019 ඔක්තෝබර් 20 වනදා ඔබ්සර්වර් පුවත්පතේ සඳහන්වේ.

ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම වෙස්වලාගත් ආශිර්වාදයක් වීම නිසා භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ඇතුළු වීමට වරම ලැබුණි. ඔහු එවෙලේ දෙවියන්ට ස්තූති කර තිබුනේ එබැවිනි.

කොළඹ රාජකීය විද්‍යාලයේ නිෂ්පාදනයක් වන රාජපක්ෂ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර පසුව ශ්‍රී ලංකා A කණ්ඩායමේ ස්ථානයක් සොයා ගත් අතර නිල නොවන ටෙස්ට් සහ සීමිත ඕවර ආකෘතිවලදී ලකුණු 1000 කට වඩා රැස් කර තිබූ ක්‍රීඩකයෙකි.