kotadeniyawa-kids-missing-found

කොටදෙණියාව නිවසකින් අතුරුදන්ව සිට දින 44 කට පසු ඊයේ හමුවූ වයස 10 හා 14 දරු දෙන්නා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී විවිධ පරස්පරතා සහිත ආරංචි ලැබෙමින් පවතී.
මෙම දරුවන්ගේ අතුරුදන්වීම එක්තරා ආකාරයක පවුල් ව්‍යසනයක අතුරු කතාවකි.කවීෂ සඳරුවන් (අවු:10) සහ අකිල දිනිදු (අවු:14) එම මවගේ දරුවෙකු හා ඥාති දරුවෙකු යයි කීවද ඇත්තම කතාව නම් වැඩිමල් දරුවා මෙම කාන්තාවගේ සැමියාගේ පෙර කසාදයේ දරුවා වීමය. මෙම කසාදයෙන් ඇයට වයස 10 කවීෂ දරුවාට බාල තවත් දරු දෙන්නෙකු සිටි බවද පැවසේ. තවත් ආරංචියකින් කියැවුනේ මෙම නිවසේ දරුවන් 09 ක් පමණ පදිංචිව සිටි බවයි. මව දරුවන් බලාගැනීමේ කාර්යය වැඩිමල් දරුවන්ට පවරා තිබූ අතර එම කාර්යයන් හරිහැටි නොකරන අවස්ථාවල දැඩි ලෙස තරවටු කිරීම් සිදු කර ඇත.
මේ හේතුවෙන් දරුවන්ට නිවස එපාවී ඇති අතර මේ කියන දෙන්නා මීට පෙර අවස්ථාවකත් නිවසින් පළායන්නට උත්සාහ කර පොලිසිය නැවත නිවසට ගෙනවිත් තිබේ.

මේ දරුවන් මෙලෙස නිවසින් පැනයන්නේ දෙවන වතාවටය.
දැනට ලැබී ඇති සාක්ෂි අනුව මෙවර පළායාම සිදුවන්නේ නිවසේ මව මීරිගම නගරයට ගිය වේලාවකය. දරුවන් ගොටුකොළ කඩා විකුණා ලබාගන්නා මුදලකින් නිවසින් පැනගිය බව පවසා තිබේ.
ඔවුන් එය විස්තර කළේ මෙසේය.

‘දවසක්දා ගෙදරින් පැනලා ගියා. ඒත් කොටදෙණියාව පොලිසියෙන් අපිව හොයාගෙන ඇවිල්ලා ආයෙත් ගෙදරටම බාර දුන්නා. එදා ඉදන් අපි හැම තිස්සෙම ගුටි කනවා.ඕන දේටයි එපා දේටයි හැම එකටම අපිට තලනවා. ඉතින් මේ පාරත් අපි ගෙදරින් පැනලා ගියා. ඒ අම්මලා මිරිගම ටවුන් එකට ආපු වෙලාවේ. අපි ගිහිල්ලා එහා පැත්තෙ ගෙදරක වත්තක ගොටුකොළ කඩලා මිටි හදන ළඟ කඩයකට විකුණලා රුපියල් සියයක් අරගෙන මිරිගමට පයින් ම ආවා. ඊට පස්සේ අපි බස් එකක නැගලා මීගමුවට ආවා. මීගමුවේ අපි කඩවල්වල අගුපිලවල්වල රෑට නිදිය ගත්තා. කඩවල මාමලා දුන්න කෑම අපි කෑවා. පොලිසියේ මාමලා අපෙන් ඇහුවා ‘මොකද මෙතන කරන්නෙ කියලා...අපි කිව්ව මාම එනකන් ඉන්නවා...’ කියලා කිව්වා.  ඊට පස්සේ අපි පෙරේදා මිරිගම ටවුන් එකට ආවා. එහිදී මිරිගම ටවුන් එකේ කඩේකින් අපි බඩගින්නට කෑම ඉල්ලුවා. ඒ ඇන්ටි හරිම කරුණාවන්තයි. එයා අපිට කෑම දීලා අපිව ගෙදර එක්කගෙන ගියා.

අපිට අලුත් ඇඳුම් ඇදගන්නට දුන්නා. අපිව පහුවදා උදේම පොලිසියට ගෙනත් බාර දුන්නා. අනේ මාමේ අපිව කොටදෙනියාවෙ පොලිසියට ගෙනෙහින් දාන්ඩ එපා. ආයෙත් අපිව අම්මලාට ගිහිල්ලා බාරදෙනවා පොලිසියෙන්. අනේ පින් සිද්ධ වෙයි පුළුවන්නම් මේ ඇන්ටිලාගේ ගෙදරම අපිට ඉන්න ඉඩ සලස්වා දෙන්ඩ.  

කෙසේ වෙතත් මිරිගම පොලිසිය විසින් මේ වන විටත් දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටදෙනියාව පොලිසියට බාරදුන් අතර ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමේදී දරුවන් නතර වූ බව කියන නැලිගම ප‍්‍රදේශයට ගිය විට ප්‍රදේශවාසීන් පවසා තිබුනේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි.  ප‍්‍රදේශවාසීන් පවසන පරිදි මෙම දරුවන් දෙදෙනා මීට දින කිහිපයකට ඉහතදී මෙම නිවසේ සිටිනු දකින්න‍ ලැබ ඇත.

මෙම දරුවන් දෙදෙනා සිටි නිවස කුලී නිවසක් බවත්  දැනගන්නට ලැබී ඇත. ඇන්ටී කියන අය පවසා ඇත්තේ මෙම දරුවන් තමන්ගේ ඥාතීන් වන බවත් මෙම දරුවන්ගේ දෙමාපියන්ට කොවිඞ් වසංගතය වැළඳීම නිසා තම නිවසේ රඳවා සිටින බවත්ය. එම නිසා මෙම දරුවන්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කිසියම් සැකයක් ඇතිවීමට මෙය හේතුවී ඇත.


මාස එක හමාරක් තිස්සේ අතුරුදන්ව සිටි දරු දෙදෙනා මාසයකටත් වැඩි කාලයක් තිස්සේ ඔවුන් පොලීසියට බාර දීමට කටයුතු කළ කාන්තාවගේ නිවසේ රඳවාගෙන තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය මේ අතර අද පවසා තිබේ.
දරුවන් පොලිසියට  බාර දීමට ක්‍රියා කළ කාන්තාව දරුවන් දෙදෙනාට මුදලින් රුපියල් හත්සියයක් ද ලබාදී  නිවසින් පිටත් කර ඇතත් ඔවුන් ආපසු නැවත වතාවක් එම නිවසට පැමිණ සිටියදී මෙසේ පොලීසියට බාර දීමට ක්‍රියා කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව කොටදෙණියාව පොලීසිය කියයි.
දරු දෙදෙනා පොලීසියට බාර කළ කාන්තාව හා ඇගේ සැමියා ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.