An-increase-in-corona-diseased-pregnancies

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ ඉහළ යාමක් යළිත් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ  වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය.

පසුගිය කාලයේ කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ   අඩුවක් දක්නට ලැබුණු අතර එම කාලයේදී සතියකට  වාර්තා වූයේ කෝවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් එක් අයකු හෝ දෙදෙනකු වැනි සංඛ්‍යාවක් බව වෛද්‍යවරයා සඳහන් කළේය.  මේ වන විට එම සංඛ්‍යාව සතියකට 5ක් 6ක් දක්වා ඉහළ  ගොස් ඇතැයි හෙතෙම කීවේය.



ගැබිනි මවුවරුන් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බැවින් ආසාදිත ගැබිනි මවුවරුන් අතර අසාධ්‍ය තත්වයේ පසුවන කිසිවකුත් නැතැයි කී වෛද්‍යවරයා කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන සති 12ක් ගත වූ පසු බූස්ටර් මාත්‍රාව ද  ලබාගන්නැයි ගැබිනි මවුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.   පසුගිය කාලයේදී ජනතාව සෞඛ්‍ය නිර්දේශ නොතකා,  කෝවිඩ් තත්වය අමතකර කර කටයුතු කිරීම නිසා මේ  වන විට කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ද වෛද්‍ය සනත් ලැනරෝල් මහතා කීවේය. එබැවින් පිරිස් ඒකරාශී වන ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසත්, සාද හා නිවාඩු නිකේතනවලට නොයන ලෙසත් ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බව  වෛද්‍යවරයා පැවසීය.

 -ඩයනා උදයංගනී-