wedding-thief

රහස් පොලිසියේ නිලධාරියකු ලෙස හඟවමින් බම්බලපිටිය ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක් අසලදී මංගල උත්සවයකට පැමිණි පුද්ගලයකුට අත් මාංචු දමා ඔහු පැලඳ සිටි රුපියල් ලක්ෂ 4 කට ආසන්න රන්භාණ්ඩ සහ රුපියල් 30,000 ක මුදලක් කොල්ලකෑ පුද්ගලයා කිරුළපන හත්වෙනි පටුමගේදී අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකි.

සැකකරු සන්තයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5. මිලිග්‍රෑම් 900 ක්, අත් මාංචු දෙකක්, කොල්ලකෑ රන් භාණ්ඩ උකස් කර ලබා ගත් රුපියල් 1,10,000ක මුදලක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

පසුගිය නව වැනි දින මෙම කොල්ලකෑම සිදුකර තිබූ අතර ඊට පෙර දින සැකකරු විසින් කොළඹ නාගරික රථවාහන අංශය අසල රථ ගාලේදී පොලිස් හදිසි ඇමතුම් අංශයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකුට අයත් යතුරුපැදියක් සොරාගෙන මෙම කොල්ලය සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි.

වසර දහතුනක පමණ දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටි සැකකරු මීට මාස හයකට පමණ ඉහතදී නිදහස්ව පැමිණීමේදී අත් මාංචු දෙක රැගෙන පැමිණි බවට පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

කොල්ලකන ලද රන් භාණ්ඩ කොළඹ හෙට්ටිවිදිය ප්‍රදේශයේ වෙළෙඳසලකට රුපියල් දෙලක්ෂ හතළිස්හත් දහසක මුදලකට විකුණා තිබූ බවත් රන් භාණ්ඩ සොයා ගන්නා අවස්ථාවේදී ඒවා උණු කර තිබූ බවත් එහි බර ග්‍රෑම් විසිදෙකක් බව පොලිසිය කියයි.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වැලිකඩ පොලිස් වසමේදී මත්පැන් පානය කර අසනීප තත්ත්වයකින් වාහනයක සිටි පුද්ගලයකුගේ ගෙල බැඳි රන් සුර දෙකක් සොරා ගත් බවට ද අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරු තිස්තුන් හැවිරිදි පුද්ගලයෙක් වන අතර අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකි.

කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාරගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

එස්. ජයසිංහ - කහතුඩුව