tsunami-17-years-sri-lanka

මීට වසර 17 කට පෙර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට බලපෑ සුනාමි ව්‍යසනය ඉතිහාසයේ පෙර නොවූ විරූ ඛේදවාචකයක් විය.
2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සුමාත්‍රා ආසන්නයේ වූ භූමි කම්පාව නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළට ළඟා වූයේ භූමි කම්පාව වී පැය 1යි විනාඩි 32කට පසුවය.


සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණි.
එම සුනාමි ව්‍යසනය හේතුවෙන් සහ රට තුළ වූ විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිත දිනය-2021‘ අද (26) සැමරේ.

එම සැමරුම් උත්සව සීමිත ජනතා සහභාගීත්වයෙන් අද (26) දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා පැවැත්වෙන අතර, ප්‍රධාන උත්සවය ගාල්ල ‘පැරෑලිය සුනාමි ස්මාරකය‘ අභියස දී රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් පෙ.ව. 8.30ට පැවැත්වේ.



සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීම සඳහා අද (26) පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.