middle-east-migrants

මැද පෙරදිග රටවල ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් ගණිකා ව්‍යාපාරවල යොදවන විදෙස් රැකියා නියෝජිතායතන සහ තැරැව්කාර ජාලයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙඳාම්, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි හයක් මේ වන විට ලැබී ඇත.
ප්‍රසිද්ධ විදේශ රැකියා නියෝජිතායතන කිහිපයක්, කොළඹ, කුරුණෑගල හා අවට විදේශ රැකියා නියෝජිතායතන හා සම්බන්ධ තැරැව්කරුවන් කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවක් මැදපෙරදිග රටවල් සඳහා ගෘහ සේවයට යැයි කියමින් විදෙස්ගත කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.

සංචාරක වීසා මත ඩුබායි සහ ඕමාන් යන රාජ්‍යන් වෙත ගොස් සිටින මෙරට කාන්තාවන් එරටවල්වලදී ගණිකා වෘත්තිය, සම්භාහන මධ්‍යස්ථාන ඇතුළු මිනිස් වෙළෙඳාමට හා ජාවාරමට ලක්වන රැකියා සඳහා යොමු කර තැරැව්කරුවන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගන්නා බව අනාවරණය වී තිබේ.



ඊට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර සම්භාහන මධ්‍යස්ථානවල රැකියා දෙන බව කියමින් මෙරටට ගෙන්වා ගත් උස්බකිස්තාන සහ ඉන්දුනීසියාව වැනි රටවල කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරම් කිහිපයක් ගැන ද පුළුල් විමර්ශන සිදු කෙරේ.
එෆ්. අස්ලම්