shemara-wikramanayake

පිට පිට තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රවර්ධන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භාවයකින් යුත් විධායක ෂෙමාරා මහත්මිය තේරී ඇතැයි “ ද ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් “ කියා සිටී.

  ඇය ඕස්ට්‍රේලියානු මැකියුරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සේවය කරයි. ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් දසදෙනා අතරින් පළමුවැනි ස්ථානය 2021 වසර සඳහා ද දිනා ගැනීමට ෂෙමාරා වික්‍රමනායක මහත්මිය සමත් වී ඇති අතර ඒ අනුව ඇය මීට පෙර 2019, 2020 වසර දෙකේ දී ද ඇය එම ස්ථානය හිමිකර ගත් බව ෆයිනෑන්ෂල්  රිවීව් කියයි.


ශ්‍රී ලාංකික සම්භවයක් ෂෙමාරා වික්‍රමනායක මහත්මිය මේ වන විට එරට මැකියුරි සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සේවය කරන්නීය.

  ඇය පසුගිය ජූනි මාසයෙන් අවසන් වූ එරට මුදල් වර්ෂය තුළ ලබාගෙන ඇති වැටුප ඩොලර් මිලියන 15.97 ක් වන බවද “ ද  ඕස්ට්‍රේලියන්  ෆයිනෑන්ෂල් රිවීව් " වාර්ෂික ලේඛනයේ වැඩිදුරටත්  සඳහන් වේ. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය වසර හා සැසඳීමේ දී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිලධාරින් ලබන වැටුප සියයට 20කින් පමණ මෙවර ඉහළ ගොස් ඇති බවයි. ඔට්‍රේලියාවේ ලැයිස්තුගත සමාගම්හි වාර්ෂික වාර්තාවල සඳහන් මුළු වැටුප මත පදනම්ව එරට ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 10 දෙනා පෙළගස්වනු ලබන අතර එම ලැයිස්තුගත කිරීමේදී ඇයට ප්‍රථම ස්ථානය හිමි වීම ද විශේෂත්වයකි.


මේවන විට ෂෙමාරා වික්‍රමනායක ජාත්‍යන්තර කාන්තා ව්‍යවසායිකාවක් වන අතර එරට මැකියුරි සමූහයේ  ප්‍රධාන විධායක නිලධාරිනීය ලෙස 2018 වසරේ දී එම තනතුරට පත්වන තෙක් ඇය වසර 33 තිස්සේ එම සමාගමේ සේවය කළාය. එම සමාගම එක්වී  ඇත්තේ 1987 වසරේදීය.  1962 දී එක්සත් රාජධානියේ උපත ලැබූ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය  කුඩා කාලයේ දී ශ්‍රී ලංකාවේ වාසය කර වයස අවුරුදු 13 දී සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර එහිදී අධ්‍යාපන කටයුතු සිදුකර තිබේ.




ඇගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි. ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් වානිජවේදය හා නීතිය පිළිබද උසස් අධ්‍යාපනය ලබා ඇත. දැනට 59 වන වියේ පසුවන විවාහක  දෙදරු මවක්ද වන ෂෙමාරා වික්‍රමනායකගේ සැමියා හිටපු අයෝජන බැංකුකරුවකු වන අතර ඔහු නිවසේ රැඳී සිටිමින් ඇයගේ වෘත්තීය කටයුතු  වෙනුවෙන් දැක් වූ සහයෝගය පිළිබඳව ඇය හැම අවස්ථාවකදීම විවෘතව අදහස්  දක්වා ඇත.  වසර 2018 ජූලි මාසයේ දී ඇය මැකියුරි සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගනු ලැබූයේ එම සමාගමේ ඉතිහාසය තුළ එම තනතුරට පත් පළමු කාන්තාව බවට ද පත් වෙමිනි.  ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 අතර සිටින එකම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසින් වාර්තා තබා ඇති ෂෙමාරා ෆෝබ් සගරාවට අනුව ලොව බලවත් කාන්තාවන් සියදෙනාගේ ලැයිස්තුවට පිට පිට 10 වතාවක් තේරි පත් වූ ව්‍යවසායිකාවකි.


 -තිළිණි ද සිල්වා (Lankadepa)-