canabies-sisira-jayakody

ඖෂධීය කංසා අපනයනයට නීතිමය අනුමැතිය ඉදිරි මාස 03 ඇතුළත පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ හත්වන දිනය සඳහා ඊයේ(30දා)පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා,



"අපේ රටේ ආයුර්වේද ක්‍ෂේත්‍රයේ, දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පසුගිය කාලපරිච්ඡේදය තුළ පුනරුදයක්  ලබා තිබෙනවා. ඒ නිසාම නොයෙකුත්  දේශීය ඖෂධ වර්ග අපේ රට තුළ අපනයනයත්, ඒ වගේම දේශීය වශයෙන් භාවිත කිරිමත් විශාල ප්‍රවණතාවක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් දේශීය ඖෂධ අනුමත කිරීම සඳහා තිබුණු බාධක ඉවත් කරලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අවුරුදු 60කට පසු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර, ආයුර්වේද කොමසාරිස් ධුරයට ආයුර්වේද වෛද්‍යවරයෙකු පත් කරන්න ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණා. ආයුර්වේද සූත්‍රකටුව මගින් බෙහෙත් ද්‍රව්‍ය අනුමත කරන්න, විශේෂයෙන් අපනයනට ඉලක්ක කර ගත්ත දේශීය ඖෂධවලට වඩා වැඩි ඉඩ ප‍්‍රස්ථාවක් සපයන්න කටයුතු කර තිබුණා.

ඒ නිසා ආයුර්වේද ක්ෂේත්‍රයේ ලියාපදිංචි කිරීම් 607ක්, බලපත්‍ර 1,310ක් ලබා දෙන්නේ, මේ ආකාරයේ ප්‍රවර්ධනයක් සිදු වූ බව ඉතා ඕනෑකමින් මතක් කරනවා.ඒ වගේම අපි හිරවෙලා තිබෙනවා සාම්ප්‍රදායික නීතිරීතී රාමුවල විශේෂයෙන් බටහිර අධිරාජ්‍යවාදීන්, යටත් විජිත පාලකයන් විසින් අපේ රටේ දේශීය ඖෂධ එක් පැත්තකින් තහනම් කරනු ලැබුවා. ඒ වගේම අපේ සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය කුඩුපට්ටම් කරලා දැම්මා.



මේ තත්ත්වයන් වෙනස් කිරීම් අභියෝගය ජයග්‍රහණය කරමින් සිටිනවා. විශේෂයෙන් කිහිප විටක් මේ සභාවේ මැති ඇමතිවරුන් යෝජනා කළ පරිදි අපේ රට තුළ පැවැති සාම්ප්‍රදායික ඖෂධ වර්ග නැවත වතාවක් නීතිගත කිරීම් ක්‍රමවේදයකට ගමන් කරමින් ඉන්නවා. ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධීය කංසා මගින් විශ්වයෙන්ම පිළිකා රෝග සුව කිරීම, ස්නායු රෝග සුව කිරීම, මන්දමානසිකභාවය අඩු කිරීම, වේදනා නාශකයක් වශයෙන් භාවිත කරන්න පුළුවන්. ඒ නිසා ඉදිරි මාස 03 ඇතුළත ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍යමය නීතිමය අනුමැතිය මේ පාරිලිමේන්තුව හරහා ලබා දෙන කටයුතු කරලා තිබෙන බව කියනවා. ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්න අවශ්‍ය පියවර ගන්නවා" යනුවෙන්ද ප්‍රකාශ කළේය.


(දිනේෂ් සමරකෝන්)