priyantha-kumara-murder-pakistan-update

ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහතා පෙරේදා පකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුවන පාකිස්තානු විමර්ශනවල ප්‍රගතිය එරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබේ.
පකිස්තාන ‘ජියෝ නිවුස්‘ වාර්තාකර ඇති පරිදි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූයේ ප්‍රියන්තගේ සිරුරෙන් 99% ක් පිළිස්සී ඇති බවත්, එක් පාදයක හැර අනෙකුත් සියලුම සිරුරු කොටස්වල අස්ථි බිඳී ඇති බවත්ය.
ඔහුගේ සියලුම වැදගත් ඉන්ද්‍රියයන් - අක්මාව, ආමාශය සහ ඔහුගේ එක් වකුගඩුවක් - බලපෑමට ලක්ව ඇති අතර, ඔහුගේ ශරීරය පුරා වධ හිංසා කිරීමේ සලකුණු දිස් වූ බවද ඔහුගේ සුෂුම්නාව  ස්ථාන තුනකින් කැඩී ඇති බවද වාර්තාවේ දැක්වේ.හිස් කබල සහ හකු කැඩීම මරණයට හේතුව ලෙස වාර්තා කර තිබේ.
පන්ජාබ් පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ මරණ පරීක්ෂණයෙන් පසුව ඔහුගේ සිරුර ලාහෝර් වෙත යවා ඇති බවත් ප්‍රභූ බලකායේ ආරක්සාව සහිත වාහන දෙකක් සමඟ එය රැගෙන ගිය බවත්ය.


දේහය ලාහෝර් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත භාරදීමට නියමිත බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
"සියලු නීත්‍යානුකූල විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසු දේහය විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට එවීමට නියමිතය," ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැය 24 ක් තුළ වැටළීම් 200 කට වඩා සිදුකර ඇති බවත් 118 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පකිස්තාන පොලිසිය දන්වා ඇත. මෙම අය අතර ප්‍රධාන සැකකරුවන් 13 ක් සිටින බව කියන පොලිසිය එම අයගේ ඡායාරූප පවා ප්‍රසිද්ධ කරන ලදි. කැමරා 160 ක සීසීටීවී වීඩියෝ දත්ත පැය 1920 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර පොලිසිය සිදු කළ විමර්ශන අනුව ප්‍රියන්ත පිරිසගේ ග්‍රහණයට ලක්වූ අවස්ථාවේ ඔහුගේ සිරුර ප්‍රචණ්ඩකාරී කණ්ඩායමෙන් බේරා ගැනීමට හිතවත් පුද්ගලයින් කිහිපදෙනෙකු උත්සාහ ගත් බවට වීඩියෝ දර්ශන සොයාගෙන තිබේ.

පිරිස ප්‍රියන්තට පහර දෙද්දී රතු ස්වීටරයක් ​​හැඳගත් අයෙක් එතැනට පැන ප්‍රියන්ත බේරා ගැනීමට උත්සාහ කළේය. ඔහු තමාගේම ශරීරයෙන් ඔහු මත ආරක්ෂක පලිහක් සාදාගෙන ටික වේලාවක් පහර විඳදරා ගත් නමුත් මොහොතකට පසු ප්‍රතිරෝධය දැක්වීමට ඔහුට නොහැකි විය. යනුවෙන් පොලිසිය සඳහන් කරයි.
ප්‍රියන්ත මරා දැමීමෙන් පසු කළු පැහැති ජැකට් එකක් ඇඳගත් තවත් මිනිසෙක් තම අත්ල එකතු කර සිරුරට ගිනි නොතබන ලෙස මැර පිරිසගෙන් ඉල්ලා සිටිනුද දර්ශනයවී ඇත. එහෙත් දරුණු පිරිස ඔහුව පසෙකට විසි කර ගිනිතැබීම සිදු කර තිබේ.



 සිදු වූ ඛේදජනක සියල්කොට් ඝාතනයෙන් පසු පාකිස්තානය යුක්තිය සහතික කරන බවට අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහතික වී තිබේ.
සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් හි සාමාන්‍යධිකාරී ලෙස සේවය කළ ශ්‍රී ලාංකික දියවඩනගේ දොන් නන්දශ්‍රී ප්‍රියන්ත සිකුරාදා දින "අපහාස කිරීමේ" චෝදනාවක් මත කම්කරුවන් පිරිසක් විසින් වධහිංසා පමුණුවා ඔහුගේ සිරුරට ගිනි තබන ලදි.

පකිස්තානයේ විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂි කියා සිටියේ තම ශ්‍රී ලංකා හිතවත් ඇමති ජීඑල් පීරිස් සමඟ පැවති සංවාදයකදී තමා ශෝකය පළ කළ බවත් සියලු වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට පොරොන්දුවූ බවත්ය.
මෙම සිදුවීම “අවාසනාවන්ත හා ලැජ්ජා සහගත” බවත්, එය ඒකමතිකව හෙළා දකින‘ බවත් ඔහු පැවසීය.
පන්ජාබ් රජය ඛේදවාචකය පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් යවා ඇත
(ජියෝ නිවුස් ඇසුරිනි - Gossiplankanews.com)

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් පකිස්තානු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර ති‍බුනේ පහත පරිදිය.