පාකිස්තානයේදී අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ අවසන් කටයුතු ඊයේ (08) ගණේමුල්ල, පොල්හේන පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ දහස් ගණනකගේ සෝසුසුම් මැදය.

පසුගිය 7 වැනිදා අලුයම ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසට මුද්‍රා තැබූ දේහය රැගෙන ආ අතර අවසන් කටයුතු සිදු කෙරුනේ ඊයේය. පාංශු කූලයෙන් අනතුරුව පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ අවමංගල සභාව අමතා ප්‍රධාන අනුශාසනාය කළහ.
'' මිනිස් වෙසින් ඉන්න යක්ශයෝ ඉන්නවා. ප්‍රියන්ත කුමාරව මරලා දැම්මේ එහෙම අය තමයි. අපේ මිනිස්සු පිටරටක මෙහෙම ඝාතනය වෙනවනම් රටේ පාලකයෝ ඒකට වගකිවයුතුයි. බලයට ආවම බලයෙන් සැප විඳිනවා මිසක් තමන්ගේ මිනිස්සු රකින්න පාලකයෝ හිතන්නේ නෑ. ' යැයි උන්වහන්සේ පැවසූහ.

මාවරමන්ඩිය ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ විහාරාධිකාරී කට්ටකඩුවේ සුමනරතන හිමියෝ මෙසේ පවසා සිටියහ.

''මේ රටේ පාලකයන්ට වඩා ඒ රටේ පාලකයෝ ඉක්මනින් තීරණය ගත්තා. පාස්කු ප්‍රහාරයක් වුණා තාම නෑ දඬුවම් ඔවුන්ට. නමුත් පාකිස්තානයේ අගමැති ඉක්මනින් තීන්දු තීරණ ගත්තා ඝාතකයන්ව සොයාගන්න. පාලකයො පත් කරද්දි මිනිස්සු දැනගන්න ඕනේ මිනිස්සු වෙනුවෙන් සංවේදී වන අය පත් කරගන්න.''
 දේහය පිළිබඳව ආගමික චාරිත්‍ර සිදු කිරීමෙන් අනතුරුව දේහය ගණේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියට රැගෙන ගියේ භූමදාන කටයුතු සඳහාය.
එහිදී ක්‍රිස්තියානි කන්‍යා සොහොයුරියෝද ආගමික චාරිත්‍ර සිදුකළහ.

අශිකා ජයවීර/ එරංදි කෞශල්‍යා