pavement-park-vehicle-colombo

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය ඇතිවන අයුරින් සහ පදිකයන්ට අවහිරවන අයුරින් පදික වේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් ඊයේ (8) සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි. පදික වේදිකා අවහිර කිරීම් හේතූවෙන් අපහසුතාවට පත්වන මගීන්ගෙන් දිනපතා ලැබෙන පැමිණිලි අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.  පදික වේදිකාවේ වාහන නවතා තබාගෙන සිටින පුද්ගලයන්ට එම මොහොතේන්ම දැඩි ලෙස අවවාද කර නීතිය ක්‍රියාත්මක කරන බවත් රියැදුරකු නොමැතිව නවතා ඇති වාහන ළඟම ඇති පොලිසියට රැගෙන යන බවත් පොලිසිය කියයි..


මංමාවත් පනත අනුව පදික වේදිකාවේ වාහන නතර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව ද පොලිසිය පවසයි. මීට පෙරත් මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර කොවිඩ් වසංගතය  ව්‍යාප්ත වීමත් සමග එම මෙහෙයුම් නැවතී තිබුණ බව ද පොලිසිය සඳහන් කරයි. මෙම මෙහෙයුම ඊයේ සිට යළි ආරම්භ කොට අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද රථවාහන තදබදය ඇතිවන වන අයුරින් සහ මගීන් අපහසුතාවට පත්වන අයුරින් පදික වේදිකාවේ රථවාහන නතර නොකරන ලෙසට සියලු රියැදුරන්ට දැනුම් දෙන බව ද පොලිස් මූලස්ථානය පවසයි.

(ඉන්දිකා රාමනායක)