police-investifation

යුද හමුදා ස්වෙච්ඡා කැඩෙට් නිලධාරි තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ වෛද්‍ය පරික්ෂණයෙන් සමත් කර දීමට යැයි කියමින් තරුණයකුගෙන් රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදලක් ලබාගෙන වංචා කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා අලුත්ගම පොලිසිය පරීක්ෂණේ ආරම්භ කර ඇත. පොකුණුවිට ප්‍රදේශයේ පදිංකාරියක වන මෙම කාන්තාව තමා යුද හමුදා මේරයකුගේ බිරියක බවට හඳුන්වා දෙමින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

විශ්‍රාමික පොලිස් නිලධාරියකු මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය පවසයි. ඔහු තම 25 හැවිරිදි පුතා සමග ස්වේච්ඡා කැඩෙට් නිලධාරි සම්මුඛ පරීක්ෂණය සඳහා ඉකුත් අප්‍රේල් කොස්ගම යුද හමුදා කඳවුරට ගොස් සිටියදී සැකකාර කාන්තාව එහිදී හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.

තමාගේ ඥාති පුතකු සමග සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණි බවත්, ඇයගේ සැමියා යුද හමුදා මේජර්වරයකු බවත් පවසා ඇති මෙම සැකකාරිය, පැමිණිලිකරු සමග හිතවත් වී උපකාරයක් අවශ්‍ය නම් කතා කරන ලෙසට දන්වා ඇගේ ජංගම දුරකතන අංකය පැමිණිලිකරුට දී ඇත.  පැමිණිලිකාර විශ්‍රාමික පොලිස් නිලධාරියා ගේ පුතා දෙවැනි සම්මුඛ පරීක්ෂණයට ද සහභාගි වී ඇති අතර, වෛද්‍ය පරික්ෂණයේදී ඔහුගේ උරහිසේ කිසියම් ආබාධයක් ඇති බවට  වෛද්‍ය පරීක්ෂණ සිදුකළ වෛද්‍යවරුන් තරුණයාට දැනුම් දී  ඇති බව පොලිසිය පවසයි. 

තරුණයා මේ පිළිබඳව සිය පියාට දැනුම් දීමෙන් පසු පියා මේවරයකුගේ බිරිඳ නමින් පෙනී සිටි කාන්තාවට කතා කර සිද්ධිය දැනුම් දී වෛද්‍ය පරික්ෂණයෙන් සමත් වීමට උපකාර කරන ලෙසට ඉල්ලා සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එම ඉල්ලීම අනුව තරුණයාට උපකාර කිරිමට සැකකාරිය කැමැත්ත පළකර ඇති අතර ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටින මේජර්වරුන්, කර්නල්වරුන්, කිහිප දෙනකුට මුදලක් ලබාදිය යුතු බවද පැමිණිලිකරුට දැනුම් දී ඇත.  ඒ අනුව පැමිණිලිකරු කාන්තාව දුන් බැංකු ගිණුමකට අවස්ථා ගණනාවකදී වරින්වර රුපියල් ලක්ෂ 8 ට ආසන්න මුදලක් බැරකර ඇත.  සැකකාරිය මෙවැනි වංචා රැසකට සම්බන්ධ බව පොලිසිය පවසයි.


 ඉන්දිකා රාමනායක