කිලිනොච්චිය උදයනගර්, අම්බලකුලම්හි කාන්තාවකට පහරදී ඝාතනය කර කිඹුලන් සිටින ඇළමාර්ගකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ ලබන ජනවාරි 12 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් අලෙක්සි ඩී. රාජා මහතා ඊයේ (29) නියෝග කළේය.  එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ කිලිනොච්චිය, උදයනගර්, අම්බලකුලම් පදිංචි කනගරත්නම් කිශෝරාජ් (22) සහ ඔහුගේ බිරිඳ වන කිශෝරාජ් දිල්විනි (19) නමැති අඹුසැමි යුවළකි.  සැකකරු දිගු කලක සිට මත්කුඩුවලට ඇබ්බැහි වූවකු බවත් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන ලෙස මියගිය කාන්තාව පැවසීමත් සමග උරණ වූ සැකකරු උළු කැටයකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට

විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එලෙස ඝාතනය කර ඇත්තේ දිගු කලක් එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිට මෙරටට පැමිණ කුලී පදනම මත කිලිනොච්චිය, අම්බලන්කුලම්හි තාවකාලිකව පදිංචිව සිටි රාසේන්ද්‍රම් රාජලක්ෂමි (67) නමැති පස්දරු මවකි.    ඝාතනයෙන් අනතුරුව සැකකරු කාන්තාවගේ සිරුර පොහොර බෑගයක දමා තම යතුරුපැදියේ ඉදිරිපස තබාගෙන කිලෝ මීටර් 18 ක් දුරින් වූ කන්දපුරම් හි කිඹුලන් සිටින ඇළකට දමා ඝාතනය වසන් කිරීමට උත්සාහ කර ඇති බවද පොලිසිය පැවසීය.  සැකකරුගේ බිරිඳ මෙම ඝාතනයට අනුබල දී  ඇති බවත් සැකකරු හා එක්ව මියගිය කාන්තාව පැළඳ සිටි කරාබු යුගල මුදු දෙකක් හා ගෙල බැඳි මාලයද කොල්ලකා ඇති අතර ඇය ඊයේ (29) අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී කොල්ලකෑ රන් භාණ්ඩ සැකකරුගේ බිරිඳ සතුව තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.



ඝාතනය වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්. ධනුෂන් මහතා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ හිසට  තදබල පහරදීමක් හේතුවෙන් සුසුම්නාව බිඳී ඇති බවත් හිසේ ඇතිවූ අන්තර් රුධිර වහනය හේතුවෙන්  මෙම මරණය සිදුවී ඇති බවට අනාවරණය වූ බවත්ය.  ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තා ජනවාරි 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 -සිතුම් චතුරංග-