පිළියන්දල පොලිසිය පසුගිය 07 වැනි දින රාත්‍රියේ කරදියාන ප්‍රදේශයේ කළ මත්ද්‍රව්‍ය වැටලීමකදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 500 ක් අත්අඩංගුවටගෙන ඇත.
එම පරීක්ෂා කිරීමේදී එහි සීටි එක් පුද්ගලයකු කුඩාවට ඔතා තිබූ යම් ගුළියක් වැනි දෙයක් ගිල දැමීමෙන් රෝහල් ගත කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.





මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ මොරටුව, ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහක යෙකි. මාර්ග බාධක යොදා ගනිමින් කරදියාන ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුමේදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර ඇති අතර එහි සිටි සිව් දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කරදියාන ප්‍රදේශයට පැමිණ ඇති බව තහවුරු වී ඇත. එහිදී එක් පුද්ගලයකු ඔහු සන්තකයේ තිබූ යමක් ගිල දමා තිබේ.

එම අවස්ථාවේ කළ වැඩිදුර පරීක්ෂාවේදී ඔහුන් සන්තකයේ තිබී බර කිරීම් සඳහා භාවිත කරන විද්‍යුත් තරාදියක් මෙන්ම රුපියල් 70,000 ක මුදලක් ද සොයාගැනීමට හැකිවූ බවත පොලිසිය පැවසීය



පසුව එම පුද්ගලයන් සිව්දෙනා පොලිස් ස්ථානය කරා රැගෙන ඒමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය මිලදී ගත් ස්ථානය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ප්‍රධාන සැකකරු (ගුළියක් ගිලදැමූ අය)කරදියාන ප්‍රදේශයට රැගෙන යාමේදී එම සැකකරුට අධික ලෙස දහඩිය දමමින් වමනය යෑමට එන බව හා දැඩි ක්ලාන්ත ගතියක් පවතින බව ඔහු පොලිස් නිලධාරීන් වෙත පවසා ඇත.එහෙයින් වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයා පිළියන්දල මූලික රෝහල වෙත ගෙනගොස් තිබේ. එහිදී තමන් අයිස් ග්‍රෑම් 5ක් ගිල දැමූ බවට සැකකරු ප්‍රකාශ කර ඇති අතර පසුව කළුබෝවිල රෝහලට ගෙනයාමෙන් අනතුරුව පැය කීපයක දී ඔහු මිය ගිය බව පොලීසිය කියයි.

මියගිය පුද්ගලයා මීට පෙරද කිහිප වතාවක් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකි.

දිනේෂ් රූපසිංහ - පිළියන්දල/ එස්. ජයසිංහ- කහතුඩුව