කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ මැතිසබයේදී ලොකු චෝදනාවක් කළේ අන් කිසිවකුටත් නොව ඇමැතිවරුන්ටය. වැදගත් විවාද අවස්ථාවල දී බොහෝ ඇමැතිවරුන් සභාවේ නොසිටීම කනගාටුවට කරුණක් බව ඔහු කීවේය. ඔහු එසේ පැවසුවා පමණක් නොව 

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.  එම ඉල්ලීම කතානායකවරයාගේ වචනයෙන්ම මෙසේය. "මේක ලොකු ප්‍රශ්නයක්. මම මේ කාරණය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ අවධානයට යොමු කරනවා. ඔබතුමාගේ ආසනය දෙපැත්තේ ඉදිරිපෙළ ඇමැතිවරුන් කිසිම කෙනකු මේ අවස්ථාවේ දී සභාවේ නැහැ. ඒක බොහොම කනගාටුදායක තත්වයක්.”

"මේ වගේ ප්‍රශ්නයක් ඇතිවුණාම ඒවට උත්තර දෙන්න මෙතන අපි කවුරුත් බැඳිලා  ඉන්නවා. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරන ඕන. ජනාධිපතිතුමා එන දවසට විතරක් මෙතන සියලුම ඇමැතිවරුන් ඉන්නවා. ජනාධිපතිතුමාට හැමදාම මෙතනට එන්න කියලා මේ නිසා අපිට කියන්න වෙනවා. මෙතන කිසිම කෙනෙක් සාමූහික වගකීමෙන් ඉවත් වෙන්න එපා. වගකීම් ඉෂ්ට කරනවා නම් හොඳයි.” කතානායක කීවේ ප්‍රසන්නදායක හැඟීමෙන් නම් නොවෙයි.



මේ අතර ගාල්ලේ ගයන්ත කරුණාතිලක ද විවාදයට එක්වෙමින් සභාවේ වැදගත් විවාදයක් යන අවස්ථාවක අදාළ ඇමැතිවරුන් සභාවේ නැතැයි ලොකු චෝදනාවක් කළේ ඇමැතිවරුන් අසුන් ගෙන සිටිනවාදැයි සභාව සිසාරා බලමිනි. මේ අවස්ථාවේ දී වාසුදේව නානායක්කාර ඇමැතිවරයා සිය අසුනේ සිටිනු දුටු ගයත්ත “ආ... වාසුදේව විතරක් ඉන්නවා. අද  කෝකටත් තෛලය එතුමා විතරයි” යනුවෙන් පැවසුවේ සිනාසෙමීනි.  ගයන්තගේ ඒ කෝකටත් තෙල කතාවට වාසු මෙන්ම සෙස්සෝද සිනාසුණහ. මේ අතර ගෑස් පිපිරීම් සිද්ධීන් පිළිබඳව මැතිසබයේදී දෙවැනි දිනයටත් ඊයේ කතාබහට ලක්වීම විශේෂත්වයකි.
ප්‍රශ්නය මතු කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.

"මේක බරපතළ ප්‍රශ්නයක් හැමතැනම ගෑස් සිලින්ඩර පුපුරනවා. බෙදුම්වාදීන්ගේ, ආගමික අන්තවාදීන්ගේ බෝම්බ පුපුරලා ජනතාව එදා හිරිහැරයට පත් වුණා. අද ගෑස් බෝම්බ රටපුරා පුපුරනවා. මේ ප්‍රශ්නයට වහාම විසඳුමක් දෙන්න ඕන" යැයි විපක්ෂනායකවරයා කීවේ චෝදනාත්මක  ස්වරයෙනි. එහිදී සජිත්ට පිළිතුරු දුන්නේ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නය.   "රටේ කිසිම තැනක ගෑස් සිලින්ඩර පුපුරා ගිහින් නැහැ. ගෑස් සිලින්ඩරයක් පුපුරලා පොලොන්නරුවේ කාන්තාවක් මිය ගියා කියලා ලොකු ප්‍රචාරයක් ගියා. දැන් හෙළිවෙලා තියෙනවා එයා මැරීලා තියෙන්නේ සියදිවි හානිකරගෙන. පොලිසිය ඊයේ වීඩියෝ පවා ඉදිරිපත් කළා.” යැයි පැවසුවේ විපක්ෂයේ යම් යම් බාධා මධ්‍යයේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් එන්නත් ගෙවීමේදී අක්‍රමිකතා සිදුවී ඇතැයි රජයට ලොකු  චෝදනාවක් කළ අවස්ථාවේදී හම්බන්තොට  වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතාගෙන් දිගින් දිගටම බාධා එල්ල විය. මේ අවස්ථාවේ දී මුලසුනේ සිටි වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා දෙසට හැරුණු මුජිබර්, "ඔබතුමා මේ සභාව හරියට කරනවා නම් කරන්න. නැත්නම් මම කතාව නවතතන්නම්.

මම කියන දේවල් වැරදි නම් ඇමැතිතුමා ඉන්නවා එතුමා ඒවට උත්තර දේවි. මෝඩ හරකුන්ට කෑගහන්න දෙන්න එපා. මේක පාර්ලිමේන්තුව. බොරුවට කෑ ගහන්න ඕන්නේ නෑ. සල්ලි හොරකම් කරනව කිව්වම තරහ ගිහිල්ලා. පිස්සෙක් වගේ කෑගහනවා." මුජිබර් කෑ ගැහුවේ යක්ෂාවේශයෙනි.

මුජීබර්ගේ එන්නත් චෝදනාවට පිළිතුරු දිමට නැගී සිටියේ ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වන්න සුමන මහතාය.  "මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා සම්පුර්ණයෙන්ම අසත්‍යක් ප්‍රකාශ කරනවා. අපි කිසිම දවසක වැඩි මුදලට එන්නත් ලබාගෙන නැහැ. අපි එන්නත් ලබාගත්තේ ඒ මොහොතේදී ගන්න පුළුවන් අඩුම මුදලට. කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් සහ රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීමෙන් මේවා අරගෙන තියෙන්නේ. හිතුමතයේ පෞද්ගලික තීරණවලට එන්නත් මිල දී ගෙන නැහැ."  මුජිබර් යළිත් කතා කිරීමට පටන් ගත්තේය. එහෙත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඔහුට දිගින් දිගටම බාධා එල්ලවනු දක්නට ලැබිණි. මෙහිදී රීති ප්‍රශ්නයක් මතු කරමින් නැගී සිටඑි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ "ගරු මන්ත්‍රී තුමා, කන්ජිපානි කියලා එක්කෙනෙක් හිරේ ඉන්නවා. ඔයා එයාව දන්නවද කියලා මම අහන්න කැමතියි.” ''ඒක රිති ප්‍රශ්නයක් නොවෙයි”   මුලසුනේ සිටි වීරසුමන වීරසිංහ පැවසුවේය.

"මම එතුමාට කියනවා, එතුමා තමයි ඒක දන්නෙ. එතුමා දන්න නිසා තමයි පිස්තෝලය දාගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගියේ. අපි නම් ගියේ නැහැ. දන්න කට්ටිය ගැන තමයි එතුමා කියන්නේ" යනුවෙන් පැවසූ මුජිබර් මහ හයියෙන් සිනාසුණේය.


 -සුජීත් හේවාජුලිගේ-