padukka-incident

වෙඩි වැදීමෙන් ආබාධිත තත්වයට පත් තවමත් සක්‍රීය සේවයේ නිරත යුද හමුදාවේ සේවයේ නිරත රණවිරු පවුලකට අයත් පර්චස් 10 ක ඉඩම් කොටසක් වොලිබෝල් ක්‍රීඩාපිටියක් පුළුල් කිරීම සඳහා පවරා ගැනීමට පාදුක්ක සංවර්ධන කමිටුව කටයුතු කරමින් සිටින බැවින් තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇතැයි එම රණවිරුවාගේ බිරිඳ වන හෂි නිලන්ති මහත්මිය පැවැසුවාය.  මෙය වර්ෂ 2018 දී ඉඩමක් අහිමි පවුල් 65 ක් සඳහා පාදුක්ක දඹර ප්‍රදේශයේ උදාගම්මානයක් ලෙස නිවාස සංවර්ධන අධිකාරිය හරහා බෙදා දුන් ඉඩමකි.

කුඩා පිරිමි දරුවකු ද තමන්ට සිටින  බවත් ඉන්න හිටින්න තැනක්  නොමැතිකමෙන් ආබාධිත තම ස්වාමියා සහ දරුවා සමගින් සිය සහෝදරයාගේ නිවෙසේ පදිංචිව සිටින බවත් ඇය පැවසුවා.


වර්ෂ 2018දී ඉඩමක් නොමැති පවුල් සඳහා ඉඩම් ලබාදීමට නිවාස සංවර්ධන අධිකාරිය මගින් සම්මුඛ පරික්ෂණයක් පවත්වා එයින් සුදුසුකම් මත තෝරා ගත් පවුල් සඳහා මෙම ඉඩම් ලබා දී නිවාස ඉදිකර ගන්නා  ලෙස දැනුම් දුන් බවත් ඒ සඳහා කිසිදු පවුලක් සඳහා ලිඛිතව කිසිදු දෙයක්  ලබා නොදුන් බවත් නිවාස ඉදිකර අවසන්ව උදා ගම්මානය විවෘත කරන දිනයේ දී ඔප්පු ලබා දීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.  අදාළ ඉඩමේ පොදු පහසුකම් වෙනුවෙන් පර්චස් 19.5 ක කොටසක් වෙන් කර තිබූ බවත් එම කොටසෙහි මේ වන විට වොලිබෝල් ක්‍රීඩා කිරීමට කටයුතු කරන බව ද ඇය පැවැසුවාය.  මේ වනවිට ප්‍රදේශයේ තරුණ පිරිසකගේ ඉල්ලීමකට අනුව අදාළ වොලිබෝල් ක්‍රීඩා පිටිය පුළුල් කිරීමට අවශ්‍ය බව පවසමින් තමන් සහ තම  රණවිරු සැමියා ඉතා දුක් මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලින් අඩක් ගොඩනගා ගත් නිවෙස ද ඇතුළුව තමන්ට ලබා දුන් ඉඩම් කොටස පවරා ගැනීමට කටයුතු කිරීම දැඩි  අසාධාරණයක් බවත් තමන්ට මෙම  ඉඩම් කොටස ලබා දී යාමට තැනක්  නොමැති බැවින් එය ලබා දීමට නොහැකි බවත් හර්ෂි නිලන්ති මහත්මිය පැවැසුවාය.


විදුලිය, ජලය නොමැතිව පැවැති ඉඩමක ඉතා දුක් මහන්සියෙන් ගොඩ නගා ගත් නිවාස කැබැල්ල වෙනුවට වෙනත් තැනක නිවසක් තනා දෙන බවට පැවසුව ද එය විශ්වාස කළ  නොහැකි බවත් ප්‍රදේශයේ ඒ ආසන්නයේ ක්‍රීඩාපිටි කිහිපයක්ම තිබිය දී තමන්ගේ ඉඩමම පවරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරන බව  ද ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ සම්බන්ධයෙන් පාදුක්ක සංවර්ධන කමිටුවේ ලේකම් සුගත් සිසිර කුමාර මහතාගෙන් සිදු කළ විමසීමේ දී මෙසේ කීය.

“දඹෝර වොලිබෝල් ක්‍රීඩා පිටියක් පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුත්තක් සඳහා ඒ අසලම තිබෙන ඉඩම් කොටසක් පවරා ගැනීමට යෝජනාවක් පැමිණ තිබුණා. ඒ අනුව සංවර්ධන කමිටුවේ ඒ පිළිබඳව සාකච්ඡා කර අදාළ ඉඩම් කොටස හිමිකරුවන්ගේ කැමැත්ත පරිදි හෝ සුදුසු අයුරකින් වෙනත් ස්ථානයකින් ඉඩම් කොටසක් ලබා දී හෝ අදාළ ඉඩම නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට අවසන් වරට තිබූ සංවර්ධන කමිටුවේ දී වාචිකව  දන්වා සිටියා. එය ලිඛිතවත් ලබා දීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් බලහත්කාරයෙන් ඉඩම ලබා ගැනීමක් පිළිබඳව සාකච්ඡාවක් සිදු වූයේ නැහැ.


 -කේ. බුද්ධික කුමාරසිරි -