mihinthale-case

බිරිදගේ හිසට පහරදී ඝාතනය කර සිය දිවි නසා  ගෙන ඇති බව අඟවා සිරුර අසල්වැසි ඉඩමක පිහිටි ගසක එල්ලා පලා ගිය බවට සැක කරන සැමියෙකු අත්අඩංගුවට ගැනීමට මිහින්තලය පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.   ඉලුප්පුකන්නිය, මිහින්තලය ලිපිනයේ නිවසක පදිංචිව සිටි 24 හැවිරිදි අමා කොෂල්‍යා නමැති එක්දරු මව සැමියා විසින් ඝාතනය කර පලා යන්නට ඇති බවට පොලීසිය සැක කරයි දෙදෙනා අතර පෙරේදා (30දා) සවස නිවස තුළදී කිසියම් ආරවුලක් ඇති වී සැකකාර සැමියා විසින් පහර දෙන්නට ඇති බවත් එම අවස්ථාවේ ඇය මිය යාම නිසා සිය දිවි නසා ගැනීමක් සිදු වී ඇති බව ඇගවීමට ඔවුන් පදිංචිව සිටි නිවසට පිටුපසින් මීටර් සියයක් පමණ අතින් පිහිටි වෙතත් ඉඩමකට සිරුර රැගෙන ගොස් ගලට තොඩුවක් දමා එල්ලන්නට ඇති බවට   පොලීසිය සැක පළ කරයි.




අසල්වාසියෙකු විසින් තරුණ කාන්තාවන්ගේ සිරුර ගසක එල්ලෙමින් තිබෙන බවට මිහින්තලය පොලීසිය නිලධාරියෙකුට දුරකථනයෙන් කළ දැන්වීමට අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එහි ගොස් සිරුර සොයා ගෙන තිබුණි. අදාළ සිදු වීම සිදුවන අවස්ථාවේ මරණකාරියගේ තුන් හැවිරිදි දියණිය නිවසේ සිට ඇතත් අදාළ සිදුවීම පිළිබද ඇයට කිසිදු තේරුමක් නොමැති බව පොලීසිය පවසයි. මේ අතර මරණකාරීයගේ දියණිය  මිත්තනිය භාරයට පත් කළ බවද පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක සංජීව ජයසූරිය මහතා පෙරේදා(30දා) රාත්‍රියේ  ස්ථානීය පරික්ෂණය පැවැත්වීය.


එහිදී මරණයට පත්ව සිටි කාන්තාවගේ හිසේ තුවාල කිහිපයක් තිබෙන බව පොලීසිය තහවුරු කර ගෙන තිබූ අතර එය  මොට ආයුධයකින් හෝ හිස බිත්තියක හප්පා ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව කාන්තාවන්ගේ මරණයට හේතුව පහරදීමක් විය හැකි බව නිගමනය කළ විනිසුරුවරයා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ  වෛද්‍යවරයා හමුවට යොමු කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා මරණයට හේත්තුව අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළේය.

ඇය ඝාතනයට ලක්වී ඇත්නම් සැකකාර සැමියා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කරනා ලෙසත් විනිසුරුවරයා පොලීසියට නියෝග කළේය. කාන්තාව මරණයට පත්වීමත් සමග සැමියා අතුරුදන්වීම නිසා ඇය ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර සැකකරු (27) පෙදරේරු වෘත්තියේ නිරත වෙන පුද්ගලයෙකු බවද පොලීසිය පවසයි.

 -බි.ජි.චතුරංග-