ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්ඕවිට,  වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හීන්දෙණිය සහ පල්ලෙවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් හංසගිරිය ප්‍රදේශයන්හි අද (2) අලුයම් කාලයේදී සහ ඊයේ රාත්‍රීයේදී ගෑස් පිපිරීම් 3  සිදුව ඇති බව ගෙහිමියන් විසින් පොලීසියට දැනුම්දී ඇත.





නිවාස තුනෙහිම ලිප් පුපුරායාම සිදුව ඇති බවත් මින් කිසිවෙකුටත් හානි සිදුව නැති බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන් පැවසීය.

අද පෙරවරුවේ බම්බලපිටිය ප්‍රදේශයේ නිවසකද ගෑස් පිපිරීමක් සිදුව ඇත.

ගෙහිමි කාන්තාව මාධ්‍ය වෙත පවසා ඇත්තේ ගෑස් රෙගියුලේටරය හා ගෑස් බටය මීට දින කිහිපයකට ඉහතදී අදාළ සමාගමෙන් පරීක්ෂා කරගත් බවත්, එහි කිසිදු දෝෂයක් නොමැති බවට සහතිකයක් ලබා දී තිබූ බවත්ය.