anura-kumara-speaks

ඇමරිකාව සමග අත්සන් කළ යුගදනවි ගිවිසුමේ පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ඒ ඇමැතිවරු පවා එම ගිවිසුම තමන් නොදැක්ක බව කියන පසුබිමකය. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව ගොඩ නැගූ ජාතික ජන බලවේගය ගිය සතියේ සිය සංවත්සරයක් පවත්වමින් සිය අරමුණු රටට පැහැදිලි කළේය. මේ ජාතික ජන බලවේගය ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමග කළ සාකච්ඡාවකි.



ජාතික ජන බලවේගය මිසක් ජනතා විමුක්ති පෙරමුණ ගැන කතාබහක් නෑ. ඔබ පක්ෂය සීනුව අත්හරිනවද?

ජනතා විමුක්ති පෙරමුණ යාන්ත්‍රණය, පක්ෂය ගොඩ නැංවීම සියල්ල අපි කරනවා. සීනුව අත හැරීමක් නෙවෙයි. මේ රට වෙනස් කිරීම සඳහා යහපත් චේතනාවෙන් කටයුතු කරන පිරිසක් පක්ෂයෙන් තොරව එළියෙන් ඉන්නවා. ඒ සියලු දෙනා එකමුතු කර ගත හැකි වේදිකාව ජාතික ජන බලවේගයයි. ඒ සඳහා උනන්දුවක් දක්වන විද්වතුන්, දේශපාලන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, කලාකරුවන්, එකතු කළ පොදු මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ පොදු ව්‍යාපාරය ජාතික ජන බලවේගය හරහා ගොඩ නගනවා. ජාතික විධායක සභාව හඳුන්වා දුන්නා. ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් විධායක සභා ගොඩ නගා ජනතාව දැනුවත් කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර තිබෙනවා ජවිපෙ සමග සාකච්ඡාවට සූදානම් කියලා. ඊට ජවිපෙ කැමැතිද?

මිනිස්සු වෙනස් වෙනවා. අපි එය පිළිගන්නවා. ඒ වෙනස්වීම වන්නේ අවංකවද, වංකවද කියා තේරුම් ගන්න පුළුවන්. මේ රට පාලනය කරපු පක්ෂ ගතහොත් අපි හිතන්නෙ නැහැ අපට ඒ අය සමග සන්ධානගත වෙන්න පුළුවන් කියලා. ඒ මේ විනාශයේ නිර්මාණකරුවන් ඔවුන් වීම නිසයි. රට පාලනය කළ සියලුම පක්ෂ එම චෝදනාවට ඇතුළත්. අවංකව වෙනස් වෙන්න සූදානම් වන පක්ෂ සමග ගනුදෙනු කරන්න කැමැතියි. අපි දොර අගුල් වැසූ දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි විවෘතයි. අපි එකඟතාවට එන්නේ අවංකභාවය මතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එන්නේ සන්ධානගත වෙන්නද?

විවිධ පක්ෂවල නායකයන් වේදිකා මත ‘‘යහළුයි අපි යහළුයි’’ කියා සන්ධාන ගොඩ නැගිලා තියෙනවා. ඒ සන්ධානවලින් ඵලක් නැහැ. එම සන්ධානවල අවසන් ප්‍රතිඵලය එහි නායකයන් තනතුරු බෙදා ගැනීම විතරයි. උඩින් එකතු වන ‘‘යහළුයි අපි යහළුයි’’ දේශපාලන ව්‍යාපාරයකට වඩා මහජනතාව ඒකරාශී කිරීමේ ව්‍යාපාරයකට අපි අවතීර්ණ වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සෘජුව සන්ධානගතවීමට අපගේ කිසිදු අපේක්ෂාවක් වර්තමානයේ නැහැ.

සන්ධාන බිහි වෙනවා විනාශ වෙනවා. ජාතික ජන බලවේගයටත් එහෙම වෙයිද?

ඔබගේ සැකය සාධාරණයි. සන්ධානවල ඉතිහාසය එහෙමයි. ඒවා පස මිතුරු සන්ධාන විතරයි. බලය අහිමි වන විට විනාශ වෙනවා. ඒ හැම එකටම වඩා මෙම ව්‍යාපාරය වෙනස්. වසර හැත්තැ තුනක කාලයක් දේශපාලන පක්ෂ දෙකක් වරින් වර රට විනාශ කර ඉවර කළා. ඊට එරෙහි මහජන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුයි. දේශපාලන පක්ෂවලට වූ ඉරණම, දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතාව තුළ සැකයක් තියෙනවා. මෙම ව්‍යාපාරය පිළිබඳව සැකයක් තියාගත යුතු නැහැ.

සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය මෙම ව්‍යාපාරයට දායක කර ගැනීම සඳහා සාකච්ඡා කරනවද?

මෙම පක්ෂ සමග සාකච්ඡා කිරීමකින් තොරවම අපට සාකච්ඡාවක් නැහැ. එම පක්ෂ සමග සාකච්ඡා කර තීන්දුවක් ලබා ගැනීමට අවශ්‍ය නැහැ. එම පක්ෂද මෙම අර්බුදයේ නිර්මාණකරුවන්. විසඳුම්කරුවන් නෙවෙයි. අපි ගොඩ නගන්නේ විසඳුම්කරුවන්. එහිදී අර්බුදයේ නිර්මාණකරුවන්ට විසඳුම්කරුවන් සමග කොටසක්කරුවන් වෙන්න බැහැ.



ජවිපෙන් කැඩුණු පෙරටුගාමී පක්ෂය සමග සාකච්ඡා කරනවද? එහි නායක කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කළා ජනතා විමුක්ති පෙරමුණ යන්නේ වැරදි මාවතක කියලා.

එම පක්ෂය මීට වසර දහයකට පෙරත් ප්‍රකාශ කළේ ජවිපෙ වැරදි පාරක යනවා කියලයි. වසර දහයකට පසු නැවත කියවීම ගැන තේරුමක් නැහැ.

ජාතික ජන බලවේගය ව්‍යාපාරය 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්ද? මේ වැඩ කරන්නෙ.?


නැහැ. ජාතික ජන බලවේගය කියන්නේ මැතිවරණ සඳහා පමණක් හදන ව්‍යාපාරයක් නෙවෙයි. අපේ රට පරිවර්තනය කළ හැකි මහජන ව්‍යාපාරයක්. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිමින් නව මතයක් ගොඩ නගන ව්‍යාපාරයක්. ඒ අතර මැතිවරණ ආවොත් ඊටත් ඉදිරිපත් වෙන ව්‍යාපාරයක්.

ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වන්නේ ජාතික ජනබලවේගය විදිහටද?

මැතිවරණ ප්‍රකාශ කළ පසු එම තීන්දුව ගන්නවා. දැන්ම කලබල විය යුතු නැහැ.

පාර්ලිමේන්තුවේදී ඔබ තර්කානුකූලව අපූරුවට කතා කළත් ප්‍රතිඵලයක් දකින්න නැහැනේ?

ඔව්. මිනිස්සු වෙනස් වෙනවා කියලා අපි හිතන්නෙ නැතිනම් මේ දේශපාලන ව්‍යාපාරය අත්හරින්න ඕනි. හැබැයි අපි ජනතාව දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ වෙනසට අපි නායකත්වය දෙනවා. එය අපගේ කාර්යභාරයයි. දේශපාලන ව්‍යාපාර එක තැනක හිර වූ ගල් අච්චු වගේ සිරවෙලා තියෙන්නෙ නැහැ. වෙනස් වෙනවා. පොදු ජනයාගේ වෙනස්වීම විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක් මෙය කාලය ගෙවා දැමීමේ ජොබ් එකක් නෙවෙයි. ජනතාව පත්ව සිටින අර්බුදයෙන් බේරා ගැනීම අපගේ අරමුණයි. එම වෙනස තුළින් ප්‍රතිඵල දකින්න පුළුවන්.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට මහජන මතයක් තිබුණත් මැතිවරණවලදී ඊට සාධාරණය ඉටු වන්නෙ නැහැනේ?

වැරදිලා තියෙන්නෙ අපටද ජනතාවටද? මා හිතන්නෙ වැරදී තියෙන්නෙ ජනතාවටයි. ජනතාව වර්තමානයේ තේරුම් ගෙන තිබෙනවා ඔවුන් වැරදි බව. ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා. නැතිනම් දේශපාලන ව්‍යාපාර දේශපාලනය අත්හරින්න ඕනි.

ඔබ කියන විදිහට 2024 මැතිවරණවලදි හරි ජනතාව නිවැරදි තීන්දුවක් ගනිද?


අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. බලය අත්පත් කර ගැනීමේ දේශපාලන ව්‍යාපාරයක් නිසා දැඩි විශ්වාසයක් තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ වෙනස් විය යුතු බව ඔබ හිතන්නෙ නැද්ද?


ජනතා විමුක්ති පෙරමුණ රටේ සිදුවන වෙනස්වීම් මත පරිවර්තනය වන දේශපාලන ව්‍යාපාරයක්. අපිට එල්බ ගත්තු ගර්හිත මත නැහැ. ඒ මත අපි පරිවර්තනය කරනවා. අප සමග විශාල පිරිසක් එකතු වන්නෙ පොදු අරමුණක් වෙනුවෙන්. රට විනාශයෙන් බේරා ගැනීම පොදු අරමුණයි. වරප්‍රසාද ගැනීමට හෝ ඥාතීන්ට අනාගත දේශපාලන පඩි පෙළ නිර්මාණය කිරීමට හෝ අපිට අවශ්‍ය නැහැ. යහපත් අරමුණු තියෙනවා.

2024 ජනාධිපතිවරණයේත් පොදු අපේක්ෂක සංකල්පය මත පිහිටා මෙම ව්‍යාපරයත් කටයුතු කරනවාද?

පොදු කියන්නෙ කා සමගද? ඉතිහාසයත් සමග සසඳන්න එපා. අපි මහජන ව්‍යාපාරයක්. මැතිවරණවලට මුහුණ දෙනවා.

ජාතික ජන බලවේගය පිටුපස චීනය හෝ වෙනත් රටක් ඉන්නවද?

අපේ ර​ටේ මාධ්‍ය කලාවක් තියෙනවා. ප්‍රවෘත්ති හරහා බොරු වාර්තා කිරීම නැති කතා වාර්තා කිරීම තවත් කලාවක්. අපි ස්වාධීන ව්‍යාපාරයක්. එම ව්‍යාපාරය ලෝකයේ වෙන බලතුනයන් සමග ගනුදෙනු කරන්න සූදානම්. අපිව නටවන්න මෙහෙයවන්න කිසිදු රාජ්‍යයකට හැකියාවක් නොමැති බව තේරුම් ගත යුතුයි.

යුගදනවි ගිවිසුමට දැන් මොකද වෙලා තියෙන්නෙ?

අපේ කාර්ය අපි කරලා තියෙනවා. නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තියෙනවා. ජනතාව දැනුවත් කරනවා. රටේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල කරන යුගදනවි ගිවිසුම හකුළා ගැනීමේ ව්‍යාපාරයක් අපි ගෙන යන්නේ.



එම සටන ජයගන්න පුළුවන්ද?

ජය ගැනීම අපි අතර විතරක් නෙවෙයි තියෙන්නේ. සටන් සියල්ල ජයගෙන අවසන් වී නැහැ.

යුගදනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඔබ ඉදිරිපත් කිරීමට දෙසතියකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අමාත්‍ය විමල් වීරවංශ කියනවා.

අමාත්‍ය විමල් වීරවංශ කියන ඒවා මට අදාළ නැහැ. මට වගේම ආණ්ඩුවටත් අදාළ නැහැ. මාධ්‍යයට විතරයි අදාළ වී තියෙන්නෙ.

එතකොට යුගදනවි ගිවිසුම ඔබට ලැබුණෙ කොහෙන්ද?

ඇමැතිවරුන් මගෙන් තමයි කොපි ඉල්ල ගත්තේ. මම පාර්ලිමේන්තුවේදි කිව්වනේ. ඒ බව සමහර මැති ඇමැතිවරු පිළිගත්තනේ.

ජනතාව මිරිකී සිටින ජීවන බරින් ගොඩ ඒම සඳහා ජාතික ජන බලවේගය සතුව ආර්ථික සංකල්පයක් තිබෙනවාද?

ආර්ථිකයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ නිෂ්පාදනය ඉහළ නැංවීමයි. ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා සැපයීම් කොටසක් අපි අත්පත් කර ගත යුතුයි. ආර්ථිකයට ජනතාව සම්බන්ධ කර ගත යුතුයි. ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට සාධාරණව බෙදී යාමද ඉතා වැදගත්. එය අරමුණ කර ගත් ආර්ථික සංවර්ධන සැලැස්මක් අපි ඉදිරිපත් කර තිබෙනවා.

මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව ගැන ඔබ කතාකළා. එය ඉටු කරන්න පුළුවන්ද?

මූලික අරමුණ දේශපාලන වරප්‍රසාද අවම කළ යුතුයි. අද දේශපාලන වරප්‍රසාද තනතුරක් වෙලා. මහජනතාවගේ ධනය නාස්ති කරන තනතුරක්. එය වෙනස් කළ යුතුයි. විශ්‍රාම වැටුප්, තීරු බදු රහිත වාහන බලපත්‍ර, නිල නිවාස, ජල - විදුලි බිල්පත් ගෙවීම, ඊට ඇතුළත් වෙනවා. මෙම වරප්‍රසාද අවම කළ යුතුයි.

උදයජීව ඒකනායක (සතිඅග අරුණ)