අහිතකර බැක්රියා වර්ග අන්තර්ගත කාබනික පොහොර රැගෙන පැමිණි බව කියන චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (08දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අහිතකර බැස්ටීරියා වර්ග අන්තර්ගත කාබනික පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා

පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව දැනුම් දුන්නේය.අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සොභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සැඳුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරීයේ මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේත්ය. පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා, අදාළ චීන සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. වගඋත්තරකාර කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේශ්වරන් මහතා අහිතකර බැක්ටීරියා අන්තර්ගත බව කියන කාබනික පොහොර රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන්  පිටත්ව යන බවට එම සමාගම ශ්‍රී ලංකා රජයට දැනුම්දී ඇතැයි අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා කරුණු ඉදිරිපත් කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා ලබාදුන් එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් තමන් සෑහීමට පත්වන බව දැනුම් දුන්නේය. මෙම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම පිළිබඳ සලකා බැලීම මැයි මස 09 වැනිදා තෙක් කල් තැබීමට නියම කළේය.

(බුද්ධිමාල් රුබේරු)