බොරතෙල් ගෙන්වීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීමෙන් ගැටලුවක් මතු වී ඇති බවත්, එයට විසඳුමක් ලෙස රුපියල්වලින් තෙල් දෙන්න කැමති සැපයුම්කරුවන් සොයමින් සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.  තවත් දින 26කට ප්‍රමාණවත් බොරතෙල් රට තුළ ඇතැයි කී ඇමතිවරයා අඛණ්ඩව බොර තෙල් සැපයීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ තාවකාලිකව වසාදමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.  ඩොලර් නැති වීම අමාත්‍යාංශය මට්ටමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බව කී ඇමතිවරයා එයට ඇමතිවරයාවත් සභාපතිවරයාවත් වගකිව යුතු නැති බවද පැවසීය.




මේ වන විට ඩොලර් මිලියන 59ක් වැයකර බොර තෙල් බැරල් ලක්ෂ 7ක් ගෙන්වා ඇතැයි කී ඇමතිවරයා මේ දිනවල අඩු ධාරිතාවකින් කටයුතු කරන නිසා දින 26කට ප්‍රමාණවත් බොර තෙල් මෙලෙස ගෙන්වා ඇතැයි ද කීවේය. එමෙන්ම වැසි සමය අවසන් වී ඇති නිසා විදුලිබල මණ්ඩලයට දැවි තෙල් අවශ්‍ය විය හැකි බව කී ඇමතිවරයා දැනට දැවි තෙල් ටොන්   65,000ක් තිබෙන බවත්, ඉදිරියේදී අවශ්‍යවන ප්‍රමාණය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානයට යොමුකර ඇති බවත් ප්‍රකාශ කළේය.


බොර තෛල් ලබාගැනීමට සැපයුම්කරුවන් සිටියත් ඔවුන්ට ගෙවීම් කිරීමට ඩොලර් නොමැති නිසා රුපියල්වලින් ගෙවීම් ලබාගැනීමට කැමති සැපයුම්කරුවන් සොයමින් සිටින බව කී ඇමතිවරයා ඔවුන්ට ලංකාවේ රුපියල් ආයෝජනය කර දීර්ඝ කාලීන කොන්ත්‍රාත් ක්‍රමයට බොර තෙල් සපයා ගැනීමට  මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත් පැවසීය. යම් ගැටලුවක් මතුවෙනවා නම් ඒ ගැන කටකතාකරුවන්ට පෙර තමන් රටට කියන බව කී ඇමතිවරයා දැනට එවැනි ප්‍රශ්නයක් නැතැයි ද කීවේය.  සපුගස්කන්ද පිරිපහදුව විකිණීමට යන බවට හා සදාකාලිකව වසාදැමීමට යන බවට හුඹස් බිය පළකළ ඇතැමුන්ට තමා කතාවෙන් නොව ක්‍රියාවෙන් පිළිතුරු ලබා දී ඇතැයි කී උදය ගම්මන්පිල මහතා දින 50ක් ඇතුළත යළි ආරම්භ කරන බව කී තෙල් පිරිපහදුවේ කටයුතු 22 වැනි දිනය වන විටම ආරම්භ කළ බවද කීවේය.




පිරිපහදුව තාවකාලිකව වසාදැමීමට සිදුවූයේ ද සැපයුම්කරුවන් සොයාගන්නට බැරිවීමෙන්, අභ්‍යන්තර ප්‍රශ්නයක් හෝ කාර්මික තාක්ෂණික ප්‍රශ්නයක් නිසා නොව රටේ විදේශ විනිමය හිගතාවයක් නිසා බව කී ඇමතිවරයා ඒ ඩොලර් හිගය ඇති කිරීමට තමාගේ කිසිම දායකත්වයක්  නැතැයි ද සඳහන් කළේය. පහුගිය මාසයේ දී ඉන්ධන ගෙන්වීම සඳහා  ඩොලර් මිලියන 328ක් වැය  කර ඇතැයි කී ඇමතිවරයා  එය රටේ සමස්ත ආනයන  වියදමින් සියයට 30 කටත්වඩා වැඩි බවත් කීවේය.  එවැනි තත්වයක් යටතේ රට තුළ  ඉන්ධන හිඟයක්  ඇති නොවීමට රජය වගබලාගෙන ඇතැයි කී ගම්මන්පිල මහතා ශ්‍රී ලංකාවට වඩා  බලවත් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය වැනි රටවල පවා ඉන්ධන හිඟයක් ඇති වූ නමුත් ශ්‍රී ලංකාවේ අබණ්ඩ  ඉන්ධන සැපයුමක් සහතික කර තිබෙන බව ප්‍රකාශ කළේය.


 -ඩයනා උදයංගනී-