ඉදිරියේදී ආණ්ඩුව දෙදරා යනවාද නැද්ද යන තීන්දුව රැඳී ඇත්තේ ප්‍රධාන පක්‍ෂයේ අයගේ හැසිරීම මත බවත්, සෙසු පක්ෂ රඳවාගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබෙනවා නම් ‘එළියට යන්නැයි' නොකියා කටවල් පාලනය කරගත යුතු බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහල්කම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (16) පැවසීය.
රට තුළ මතුව ඇති පොහොර ගැටලුව, චීන පොහොර නෞකාවට ගෙවීමක් කරන්නට සිදුවීම හා පොහොර ගෙන්වීමේදී වංචා දූෂණේ සිදුවී ඇත්ද ආදිය සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනාධිපතිවරයාට තමා යෝජනා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්ගෙන් හා මේ පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පූණ බලැති කොමිසමක් මේ සඳහා පත් කළ යුතු බව කී ඇමතිවරයා කාබනික පොහොර කෑන් පිපිරීම, පොහොර යෙදූ ගොයම බල්ලන් කෑම ආදිය සොයා වරදක් වී ඇත්නම් වැරදි කළ අයට දඬුවම් දිය යුතු බව ද කීවේය. ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පොහොර සම්බන්ධ ගැටලුව හේතුවෙන් ගොවියා ගොවිතැනෙන් ඈත්වීමේ අවදානමක් මෙන්ම ඔවුන්ට කාබනික වගාව එපාවීම සිදුව ඇතැයි ඇමතිවරයා කීවේය.
පොහොර නෞකාවට මුදල් ගෙවීම සිදුකරන්නේ නැවත ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීමේ එකගතාව මත බව කෘෂිකර්ම ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පැවසුවේ යැයි කී ඇමතිවරයා එසේ නොවන්නේ නම් ඊට වගකිවයුත්තගෙන් එම මුදල අයකරගත යුතු බව ද පැවසීය. ග
ෑස් පිපිරීම් හේතුවෙන් බොහෝ දෙනකු බියට පත්ව සිටින බව කී අමරවීර මහතා තමන්ගේ නිවසේ ඉවුම් පිහුම් කරන තැනැත්තා ද ආරක්‍ෂක හිස් වැස්මක් ඉල්ලූ බව සඳහන් කළේය. මෙය පක්‍ෂ කිහිපයක් එක්වී ගොඩනැගු ආණ්ඩුවක් නිසා සාමූහිකව ගමන යා යුතු බවත්, වත්මන් ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් බව රටට පෙන්වීමට කාලය පැමිණ ඇති බවත් ඇමතිවරයා කීවේය.
ඇමති මණ්ඩලය, ලේකම්වරුන්, නිලධාරීන්, හිතවතුන් හෝ ඥාතීන් අතින්වත් වංචා දූෂණ සිදුව ඇත්නම් ඔවුන් ඉවත් කර රටට ආදර්ශයක් දිය යුතු බව ද මහින්ද අමරවීර මහතා පැවසීය. රටට ඩොලර් අවශ්‍ය අවස්ථාවක ආයෝජන එනවාට විරුද්ධ නැති නමුත් යුගදනවි වැනි ගිවිසුම් විනිවිදභාවයකින් ගෙන ආ යුතු බව ඇමතිවරයා කීවේය. රටේ ප්‍රශ්න පවතින්නේ නම් කැබිනට් මණ්ඩලයේ අයට කසාය බීව් ගොළුවන් මෙන් සිටිය නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
-ඩයනා උදයංගනී-
Comments
Post a Comment
Your comment will be visible after approval