හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ (16) ඉල්ලීමක් කළේය.   ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන පෙත්සම්කාර සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ පෙත්සම්කාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු  කොමසාරිස්වරයකු වන නීතිඥ ගසයි හුසේන් මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සහ නීතිඥ එරාජ් ද සිල්වා යන මහත්වරු අධිකරණයෙන් මෙම ඉල්ලීම කළහ.


මෙම පෙත්සම් ගාමිණී අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්  හමුවේ කැඳවිණි. මෙම පෙත්සම් අධිකරණය හමුවේ ඊයේ (16) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්  සහ නීතිඥ එරාජ් ද සිල්වා යන මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම් සලකා බැලීම සඳහා පහ හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙසය. මෙම ඉල්ලීම මෝසමක් මගින්  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දන්වා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් සලකා බැලීම ලබන මාර්තු 03 වැනිදාට කල් තැබුවේය. දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලිය නීතියට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස එම පෙත්සම් මගින් ඉල්ලා සිටිති. මේ පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර සිටී.


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව  සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් 08  වැනි දින හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. මේ නඩුව විභාගයට ගැනීමෙන් පසුව විත්තිකරුවන් පස් දෙනාම මිනීමැරීමේ  චෝදනාවට වරදකරුවන් කර මරණ දඩුවම් නියම කෙරිණ. තමන්ට මරණ දඬුවම නියම කළ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා මහතා සහ තවත් දෙදෙනකු ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් 2018 ඔක්තෝබර් 11 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගලයන් විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ට කොළඹ මහාධිකරණය නියම කළ මරණ දඬුවම ඒකමතිකව අනුමත කෙරිණි.


එසේ මරණ දඬුවම තහවුරු කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 සහ 34 (1) වගත්ත මගින් සිරකරුවකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම දක්වා ඇති අතර එම වගන්තීන්ට අනුව මරණ දඬුවම් ලැබ සිටින සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති සමාව ලබාදීමට ප්‍රථම ඒ පිළිබඳ වාර්තාවක් ඔවුන්ට දඬුවම් නියම කළ විනිසුරුවරුන්ගෙන් කැඳවිය යුතු බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.

  එසේම අධිකරණ ඇමැතිවරයා විසින් සිරකරුට ජනාධිපති සමාව ලබා දීමේ නිර්දේශය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවත්, ඊට අමතරව එම වගන්තීන්ට අනුව කුමන පදනමක් මත සිරකරුට සමාව දුන්නාද යන්න පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැහැදිලි කිරීමක් කළ යුතු බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.  එහෙත් මරණ දඬුවම නියමව සිටි  දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලියේදී මේ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බැවින් තම මූලික අයිතිවාසිකම් කඩ වී  ඇති බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.


 -තිළිණි ද සිල්වා -