රතුපාට මුද්‍රාව සහිත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් සවි කරන ලද උදුනක් පුපුරා යාමේ සිදුවීමක් වාර්තා වෙයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ උඩුනුවර ඇල්පිටිය ප්‍රදේශයේ දී මිලදී ගන්නා ලද සිලින්ඩරයකිනි.
ගෑස් සිලින්ඩරය පසුගිය පළමුවනදා මිලදී ගත් බව නිවැසියෝ සඳහන් කරති.
එම සිලින්ඩරය එදින රතු මුද්‍රාව සහිතව වෙළඳපලට නිකුත් කර තිබූ එකකි.

මේ අතර
බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක විසින් ඊයේ (09)දා උදෑසන මිල දී ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරීමේදී රතු පැහැති ලේබලයට යටින් සුදු පැහැති පරණ ලේබලය තිබු බව එම කාන්තාව පවසා සිටියාය. ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් නොමග යැවීමේ අරමුණින් එම සමාගම විසින් පැරණි ගෑස් සිලින්ඩරයේ සුදු පැහැති ලේබලයට උඩින් රතු පැහැති ලේබලය අලවා ඇති බවද ඇය පවසා සිටියාය. බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ඊයේ (09දා) එම සමාගම විසින් ගෑස් සිලින්ඩර් තොග බෙදාහැරී අතර, ඔවුන් සතු පැරණි ගෑස් තොග වෙනත් දිනයක් ලබා ගන්නා බවට සමාගම විසින් තමන්ට දැනුම් දුන් බවයි බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝඡිතයෝ පවසා සිටියහ. ප්‍රදේශයේ ගෑස් අලෙවිය තවදුරටත් අඩුව පවතින බව හැටන් සහ බගවන්තලාව ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෝ පැවසූහ.