අයවැය විවාදයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය කතාව ආරම්භ කළේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පෙර දිනෙක කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ඔහුට දැඩි ප්‍රහාරයක් සිදු කරමිනි. ෆොන්සේකා මෙසේ චෝදනා කරගෙන යද්දී ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීස්ම ගැනද යමක් කීවේය. එහිදී ෆොන්සේකා හිටපු ජනපතිවරයා ආමන්ත්‍රණය කළ ආකාරය සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට තිබුණේ ලොකු චෝදනාවකි. විමල් මේ ගැන චෝදනාව කළ අවස්ථාවේදී ඔහු සහ ෆොන්සේකා අතර ඇතිවූයේ උණුසුම් එහෙත් රසබර කතාවකි. මෙම මුලින්ම කතා කිරීමට පටන් ගත්තේ ෆොන්සේකාය.
"සරත් වීරසේකර පහුගිය දවස්වල මේ සභාවේදී මට මඩ ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා. ඒවා සම්පූර්ණයෙන්ම බොරු කතා, මට මඩ ගහපු එතුමාට දැන් සමාජ මාධ්‍යවල නම් කියන්නේ පීචං වීරසේකර කියලයි. එතුමගේ ඒ කතාවට දැන් මට මෙතන පොඩි උත්තරයක් දෙන්න ඕන. අත්අඩංගුවට ගත්ත අය ඝාතනය කළ එකට විරුද්ධව මම කතා කළා කියලා සරත් වීරසේකර මෙතන කියලා තියෙනවා. ටින්කරින් ලසන්ත කෙනෙක් ගැනත් එතුමා කිව්වා. මම එහෙම කෙනෙක්ගෙ නමක්වත් කිව්වේ නැහැ. මම ඒ මිනිහා ගැන දන්නෙත් නෑ. මම කිව්වේ අත්අඩංගුවට ගන්න අය මරා දාන එක ම්ලේච්ඡයි කියල විතරයි.
එතකොට ඒ වගේ බොරු කියන සරත් වීරසේකරගේ මොළේ කචල් වෙලාද කොහෙද. ඒ එක්කම ලසන්ත කියන කෙනා මගේ ළඟම කෙනෙක් කියලත් බොරු කතාවක් කිව්වා. කියලා උඩ පැන්නා. මම ඒ පුද්ගලයා පුද්ගලිකව දන්නේ නැහැ. මම සරත් වීරසේකර වගේ ජාවාරම්කාරයන්ගෙන් මුදල් ගන්න ජාවාරම්කාරයන් හුරතල් කරන පුද්ගලයෙක් නොවෙයි." යැයි පවසමින් වීරසේකර සිටින ඡායාරූපයක්ද සභාවට ප්‍රදර්ශනය කළේය. ෆොන්සේකා යළිත් කතා කිරීමට පටන් ගත්තේය.
"වෙස්මුහුණු බැදට එයාට නටන්න වෙන්නෙ එළියෙ. වීරසේකර කියනවා එයාගෙ පොලිසියට නිවටයි කියලා කියන්න එපාලු. මම පොලිසියට නිවටයි කියල කිව්වේ නැහැ. වීරසේකර උන්නැහෙට වැරදිලා. පොලිසිය එයාගෙලු. පොලිසිය එයාගෙ වෙන්නෙ කොහොමද. පොලිස් ඉස්පිරිතාලෙ ඉන්නවා කොන්ඩෙ වවාගත්ත කෙනෙක්. අන්න එයා නම් වීරසේකරගේ තමයි. පොලිසිය වීරසේකරගේ නොවෙයි.". "වීරසේකර සතුටු කරන්න මිනීමරන උන්ට නම් මම නිවටයි කියලා කියනවා. මිලේච්චි වැඩ කරන්නේ නිවටයෝ තමයි. බලය පාවිච්චි කරල මිනීමරනවා නම් ඒක නිවටකමක් තමයි. යහපාලන කාලයේදී මට නීතිය හා සාමය ඇමැතිකම නොදුන්නේ මගේ හැටි දන්න නිසා කියලත් වීරසේකර කියලා තිබුණා. ඒ නොදුන්න පුද්ගලයත් මෙතන ඉන්නවා.
ඔව් ඒ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. මන්ත්‍රීවරුන් පිරිසක් ගිහිල්ලා එදා මෙත්‍රීපාල උන්නැහෙට කිව්වා මට ඒ ඇමතිකම දෙන්න කියලා. නමුත් ඒක දුන්නේ නැහැ" වීරසේකර කීවේ හිස ඒ මේ අත පද්දමිනි. මේ අවස්ථාවේදී විමල් වීරවංශ ඇමැතිවරයා ප්‍රශ්නයක් මතුකරමින් ෆොන්සේකාට ලොකු චෝදනාවක් කළේය.
"මෙත්‍රීපාල සිරිසේන කියන්නේ මේ රටේ හිටපු ජනාධිපතිවරයා. මෙතුමා උන්නැහේ, අරහෙ මෙහෙ කියලා මොනවද මේ කියන්නෙ.
මහජන නියෝජිතයන්ට එහෙම කතා කරන සංස්කෘතියක් මේ රටේ නැහැ. මෙතුමාට කරුණාකරලා සභ්‍ය භාෂාවෙන් කතා කරන්න කියන්න. බැරිනම් වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ." යැයි පැවසුවේ මුලසුන දෙසද බලමිනි.
විමල්ගේ කතාවට මෙහිදී ප්‍රතිචාර දැක්වූ සරත් ෆොන්සේකා"
හරි.. හරි.. ඔබතුමාට අවශ්‍ය නම් ඒ වචන අයින් කරන්න. දැන් එයා ජනාධිපති නොවෙයි. එයා දැන් මන්ත්‍රීතුමානේ." යැයි පැවසුවේ බොහොම සැහැල්ලෙවෙනි. සරත් ෆොස්කා යළිත් කතා කිරීමට පටන් ගනිද්දී කුරුණෑගල ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා යමක් පැවසීමට නැගී සිටියේය.
"ෆොන්සේකා මන්ත්‍රීතුමා. මම පෞද්ගලිකව ඔබතුමාට ගරු කරන කෙනෙක්. හැබැයි දේශපාලන වශයෙන් නොවෙයි. දෙයක් මතක තියාගන්න ඕන. ඔබතුමාට ඔය ගෞරවාන්විත නිලය ෆිල්ඩ් මාර්ෂල් තනතුර දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ බව අමතක කරන්න එපා. ඒ කෙළෙහි ගුණය තියාගන්න. මනුස්සයෙක් වුණාම කෙළෙහි ගුණයක් තියෙන්න ඕන." යැයි බණ්ඩාර පැවසුවේ තරමක් ආවේගශීලී ස්වරයෙනි. මෙහිදී ශාන්ත බණ්ඩාර දෙසට හැරුණු ෆොන්සේකා" එතුමා ඒ තනතුරු පුද්ගලික බුදලයෙන් දුන්නේ නැහැ . පොළොන්නරුවේ ගෙදරින් ගෙනත් දුන්නෙත් නැහැ. අපිට සුදුසුකම් තිබුණ නිසා ඒ තනතුරුවල හිටපු නිසා අපිට ඒව ලබාදුන්න." යැයි පැවසුවේය. උන්නැහේ කතාව එතැනින් අවසන් විය.
යළි සරත් වීරස්කර ගැන කතා කිරීමට පටන් ගත් ෆොන්සේකා"
වීරසේකර අතීතයේ දවසක් මගේ කාමර්ට ඇවිල්ලා හැඩුවා. ආරක්ෂක භටයෝ දෙන්න කියලා මට දණ ගහලා වැන්දා. ඒ වැදපු එකා මට අද මඩ ගැහුවට කමක් නෑ. මම ඒවා ගණන් ගන්නේ නැහැ." යැයි පැවසුවේ මහ සද්දෙනි. ෆොන්සේකා ඊළඟට සූදානම් වූයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පෙරදින කළ යෝජනාවක් සම්බන්ධයෙන් කතා කිරීමටය. එය කතා කිරීමකට වඩා ලොකු චෝදනාවකි.
"මන්ත්‍රීවරියක් මේ රටේ ගංජා වවන්න ඕන කියලා ලැජ්ජ නැතුව ඊයෙ මෙතන ප්‍රකාශ කළා. මෙහෙම ගියොත් එයා ගණිකා ව්‍යාපාරය නීතිගත කරන්න කියලත් කියාවි. ඒක වැරදි කතාවක්. අපි මීට වඩා ගෞරවාන්විත වෙන ඕන. අපේ ආණ්ඩුවක් ආවම අපි මේවා ඔක්කොම වෙනස් කරනවා" යැයි පැවසූ ෆොන්සේකා අසුන් ගත්තේය.ෆොන්සේකාගේ මේ කතාවට ප්‍රතිචාර දැක්වූ ඩයනා ගමගේ " එයාලගේ ආණ්ඩුවක් මේ රටේ එන්නේ නැහැ.." යැයි පවසමින් තවත් මොන මොනවාදෝ පැවසුවේ තරමක් ආවේගයෙනි. මේ අතර සමගි ජන බලවේගයේ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සම්බන්ධයෙන් යමක් කතා කළ අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවූයේ උණුසුම් කතාබහකි.
මෙහිදී එරාන් දෙසට හැරුණු ජොන්ස්ටන්
"ඔබතුමා උගත් මන්ත්‍රීවරයෙක්. මෙතන අපිට මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා. අපේ නම් කියනවනම් ඉල්ලං කන්නත් ලෑස්ති වෙන්න. ඒ නිසා නම් කියන්න එපා. ඔබතුමාලා එදා අපිට නඩු දාපු හැටි මතකයි න්නේ." යැයි පැවසුවේ සුපුරුදු ප්‍රවේගාත්මක ස්වරයෙනි. ජොනීගේ මෙම ඉල්ලන් කෑමේ කතාවට නම් ඒරාන් වික්‍රමරත්නට ටිකක් කේන්ති ගියේය. "අපි ඉල්ලන් කන්න නම් ලැහැස්ති නැහැ. ඒ වගේම මම ඔබතුමාට යමක් කියන්න ඕන. මම කාගෙවත් නමක් කිව්වේ නැහැ. ඒත් තොප්පිය හරි නම් ඔබතුමා දාගත්තට කමක් නෑ." එරාන් පැවසුවේය.
ජොනී යළිත් කතා කිරීමට පටන් ගත්තේය. ''මෙතන වරප්‍රසාදවලට මුවාවෙලා මඩ ගහන ලෑස්ති වෙනවා. අපි එදා හිරේ දානකොට අපි එතැනට ගියේ හිනාවෙවී. ඔයාලගේ අය වගේ එන්න කිව්වම පැනලා ගියේ නැහැ." ජොන්ස්ටන් පැවසුවේ එරාන් දෙසට ඇඟිල්ලක්ද දිගු කරමිනි. එහෙත් එරාන් ජොන්ස්ටන් සමග තවදුරටත් වාද කිරීමට උත්සාහ දැරුවේ නම් නැත.
-සුජිත් හේවාජුලිගේ -