thimbirigasyaya-incident

බම්බලපිටිය, ලෝරන්ස් මාවතේ උත්සව ශාලාවක් අසල රථ ගාලේදී ඊයේ (09දා) නාඳුනන පුද්ගලයකු මෝටර් රථයකින් පැමිණ තිබු පුද්ගලයකුට අත් මාංචු දමා ඔහු පදවාගෙන පැමිණි මෝටර් රථයෙන්ම පැහැර ගෙන ගොපැලඳ සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා රන් භාණ්ඩ සහ රුපියල් 30,000ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.



තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලයකු සිය බිරිඳ සමග උත්සව ශාලාවේ පැවැති මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණ බිරිඳ උත්සව ශාලාව තුළට ගමන් කිරීමෙන් අනතුරුව මෝටර් රථ රථ ගාලේ නැවතීම සඳහා නවතා තිබූ බස් රථ දෙකක් අතරින් පසුපසට ගැනීමේදී ඔහු අසලට සුදු පාටට හුරු ආරක්ෂිත හිස් වැස්මක් පැලඳ පැමිණි පුද්ගලයෙකු තමන් 'පොලීසියෙන්” යැයි පවසා ඔහුට අත් මාංචු දමා එම මෝටර් රථයේ පිටුපස අසුනට දමා ඔහු සමගම මෝටර් රථය රැගෙන පලාගොස් තිබූ බවට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මද දුරක් මෝටර් රථය ගමන් කිරීමේදී ඔහුගේ අතේ පැලඳ තිබූ රන්මුදු දෙකක් සහ අත් පලඳනාවක් පැහැරගත් එම පුද්ගලයා රන් භාණ්ඩ බර නොමැති බවත් ඔහුගේ බිරිඳ මෙම ස්ථානයට ගෙන ලෙස පවසා තර්ජනය කර තිබූ බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. එහිදී තැනට නුවණ පාවිච්චි කර තිබූ එම පුද්ගලයා දෙමළ බසින් සිය බිරිඳ අමතා ඔහු පත්ව ඇති කරදරේ පවසා ඇති අතර ඇයට උත්සව ශාලාවෙන් පිටතට නොඑන ලෙස දැනුම් දී තිබේ. රුපියල් තිස්දහසක මුදලක්ද ඉල්ලා නාඳුනන පුද්ගලයාගේ තර්ජන හමුවේ " දැඩි භීතියට පත්ව තිබූ මෙම පුද්ගලයා බැංකු කාඩ්පතකින් එය රැගෙන ලබා දිය හැකි බව පැවසීමෙන් අනතුරුව එම පුද්ගලයා පෞද්ගලික බැංකුවක් අසල මෝටර් රථය නවතා පසුපස අසුනේ සිටි එම පුද්ගලයාගේ අත් මාංචු ගැලවීමෙන් අනතුරුව ඔහු ඒ.ටී.එම් යන්ත්‍රයට ගොස් රුපියල් තිස් දහසක මුදලක් ලබාගෙන එම පුද්ගලයා අතට ලබාදී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.



මෙම එම පුද්ගලයාගේ බිරිඳ මංගල උත්සවයට සහභාගි වීමට පැමිණ සිටි තම ඥාතීන්ට මේ බව දැනුම් දීමෙන් අනතුරුව බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරිමත් සමගම ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට එවීමට කටයුතු කර තිබේ. රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කෑමෙන් අනතුරුව පැහැරගත් පුද්ගලයා සමග මංගල උත්සව ශාලාව ආසන්නයට පැමිණීමේදී පොලිස් නිලධාරීන් එහි රැදී සිටිනු දුටුනාඳුනන පුද්ගලයා මෝටර් රථය ඒ ආසන්නයේ නවතා පලාගොස් තිබේ.

පලා ගිය පුද්ගලයාගේ බවට සැක සිතිය හැකි යතුරුපැදියක් යතුර සමග රථගාල ආසන්නයේ තිබියදී සොයාගැනීමෙන් අනතුරුව ලියාපදිංචිය අංකය ඔස්සේ සිදු කළ පරික්ෂාවේදී එය කිරිඳිවැල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවට අනාවරණය වී තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කිරිඳිවැල බලා පිටත් කර හැරීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න රත්නායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 (බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)