kurumba-murder

කුරුම්බා ගෙඩි හතරක් කඩා පානය කළැයි 17 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (15දා) නියම කළේය.


සිද්ධිය ඇසින් දුටු එකම සාක්ෂිකරුවෙකු හෝ නොමැති වීම හා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියලු චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය. සිද්ධිය ඇසින් දුටු එකම පුද්ගලයා වන මියගිය තරුණයා සමග කුරුම්බා කැඩීමට ගිය තරුණයා අතුරුදන් බව මීට පෙර අවස්ථාවක සිතාසි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් වැලිකඩ පොලීසියේ කොස්තාපල් (92942) සෙනෙවිරත්න මහතා අධිකරණයට දැනුම් දී තිබිණි.

පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති වීම හේත්තුවෙන් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ රාජගිරිය, ඔබේසේකරපුර, මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි එරාජ් ප්‍රනාන්දු මහතාය. 2008 දෙසැම්බර් මස 14වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය, ඔබේසේකරපුර, මොරගස්මුල්ල ප්‍රදේශයේදී ලියනගේ පුබුදු සංජීව නමැති 17 වියැති තරුණයාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ද නගා තිබිණි.



 මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අතරතුර පළමු සාක්ෂිකරු වශයෙන් නම් කර තිබූ සිද්ධිය වූ අවස්ථාවේ මියගිය පුබුදු සංජීව නමැත්තා සමග කුරුම්බා කැඩීමට ගිය බව කියන අමිල ප්‍රසාද් නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණ නඩුව විභාග කරන කාලයේදීම අතුරුදන් බව හෙළි විය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිද්ධිය ඇසින් දුටු එකම සාක්ෂිකරුවෙකු හෝ නොමැති වීම හා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියලු චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය. විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියේය.


(බුද්ධිමාල් රුබේරු)