පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමිමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
කැබිනට් පත්‍රිකාව ගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත්, එය ඉකුත් සඳුදා (13) පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇති බව ද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත්, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනෙනු ඇතැයි දැනගන්නට තිබේ.
2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට තේරීපත්වූ සභිකයන්ගේ ධුර කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන්වීමට නියමිතය. එම පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන අතිබහුතරයක බලයට හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් කල් දැමීමට පළාත් පාලන පනත අනුව, විෂය භාර ඇමැතිවරයාට බලය හිමි වේ.
ඒ අනුව, රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමේ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය.
-අජන්ත කුමාර අගලකඩ -
Comments
Post a Comment
Your comment will be visible after approval