girl-abuse-buttala

අවුරුදු 20ක් වයසැති ගොළු තරුණියක වයස අවුරුදු 13 සිට අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවට එම තරුණියගේ පියා පෙරේදා (14දා) සැකපිට අත්අඩංගුවට ගත් බව බුත්තල පොලීසිය පවසයි.සැකකාර පියා 52 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.



මෙම වින්දිත තරුණියගේ වැඩිමහල් සහෝදරිය සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.අගතියට පත් දැරිය ඇගේ පියාට අමතරව සහෝදරයකු සහ කතරගම ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකු විසින්ද අපයෝජනය ලක් කර තිබෙන බවත්, මෙම තරුණියගේ පවුලේ පිරිසගේ මුල්ගම කතරගම ප්‍රදේශය බවත් දැනට මාස කීපයක සිට බුත්තල ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් පරික්ෂණ වලදී අනාවරණය විය.වින්දිත තරුණියගේ වැඩිමල් සහෝදරිය පොලීසියට පවසා ඇත්තේ,

ඇගේ බාල  සහෝදරිය අවුරුදු දහතුන් සිට තම සහෝදරයා සහ තවත් පිරිසක් අපයෝජනය කර ඇති බවට තමන්ට පැවසූ බවයි.තම සහෝදරිය අවසන් වරට අපයෝජනයට ලක්වූයේ දැනට මාස 04කට පෙර පියාගේ කඩ කාමරය තුළදී පියා අතින් බව ඇය තමන්ට සංඥා භාෂාවෙන් පැවසූ බව පැමිණිලිකාරිය පොලිසියට පවසා ඇත. අපරාධය සම්බන්ධ අනෙකුත් සැකකරුවන්ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.සැකකාර පියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොටිඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත්, සහකාර පොලිස් අධිකාරී චන්දන ජයතිලක යන මහත්වරුන්ගේ උපදෙස් මත බුත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.ජේ. බණ්ඩාර,මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

(මොනරාගල - නයනජිත් බණ්ඩාර)