සයිනෝෆාම් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වැසියන්ට, “බූස්ටර් මත්‍රාව ලෙස නව මාදිලියේ 'සයිනෝෆාම්' එන්නතක් ලබා දෙන බව එමිරේට්ස් සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙම නව ‘සයිනෝෆාම්' එන්නත මීට පෙර නිෂ්පාදනය කර ඇති ‘සයිනෝෆාම්' එන්නත මෙන් නොව, වැඩි දියුණු
කරමින් ප්‍රෝටීන භාවිතයට ගනිමින් නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නතක් බව පැවැසෙයි. මෙම නව මාදිලියේ එන්නත හදිසි භාවිතයට සුදුසු බවත්, පළමු සහ දෙවැනි 'සයිනෝෆාම්' මාත්‍රා ලබා ගත් පිරිසට 'බූස්ටරය' ලෙස ලබා දීමට සුදුසු බවත් එමිරේට්ස් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ, එරට වෛද්‍ය පර්යේෂකයන්ගේ නිර්දේශ අනුවය.
නව 'සයිනෝෆාම්' එන්නත 'බූස්ටරය' ලෙස එමිරේට්ස් වැසියන්ට ලබා දීම ජනවාරියේ සිට ආරම්භ වනු ඇති බව ද එමිරේට්ස් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි. චීනය නිපදවා ඇති සාර්ථක 'කෝවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ 'සයිනෝෆාම්' ය.
කෙසේ නමුත් අනෙක් එන්නත් සේම, 'සයිනෝෆාම්' එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය ද දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස කීපයක් යද්දී වියැකී යන බව මේ වනවිට තහවුරු වී ඇත. ඒ අනුව බූස්ටර්' එන්නත් ලබා ගත යුතු යැයි නිර්දේශ වී තිබේ. ‘සයිනෝෆාම්’ එන්නත නිපදවීම සිදු කරන්නේ, චීන ජාතික ඖෂධ නිෂ්පාදන සමාගමේ කොටසක් වන ‘බයෝටෙක්” සමාගමය. එමිරේට්ස් රාජ්‍යය තුළ නව "සයිනෝෆාම්' එන්නත් නිෂ්පාදනය සම්බන්ධයෙන්, චීන ජාතික ඖෂධ නිෂ්පාදන සමාගම සහ එමිරේට්ස් 'ගෘෘප් 42' සමාගම සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ. ලබන ජනවාරියේ සිට එමිරේට්ස් වැසියන්ට බූස්ටරය ලෙස ලැබෙන්නේ එමිරේට්ස් රාජ්‍යයේ නිපද වූ සයිනෝෆාම්' නව එන්නතය.
Comments
Post a Comment
Your comment will be visible after approval