harak-kata

ඩුබායි රාජ්‍යයේ සිටින “නදුන් වින්තක වික්‍රමරන්න" නොහොත් 'හරක් කටා' නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඉකුත් 2020 වර්ෂයේ මාස පහක කාලය තුළ හෙරොයින් කිලෝ 720ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240ක් සහ නවීන පන්නයේ මිලිටරි නවය වරිගයේ පිස්තෝල 20ක් මෙරටට එවා ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ෂන කොට්ඨාසය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.



මිදිගම නදුන් නොහොත් ‘හරක් කටා' නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සමඟ සම්බන්ධ වෙමින්  හෙරොයින් ජාවාරම සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර නොහොත් “මිදිගම ලසා" නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ මෙම කරුණු අනාවරණය වී ඇතැයි ද නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.  හරක් කටා නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට දුරකතන අංක 05කින් මෙම සැකකරු හා සම්බන්ධ වෙමින් මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්, ජාත්‍යන්තර මුහුදු තීරය ඔස්සේ ඉරානය හා පාකිස්ථාන් නෞකා මගින් මෙරට මුහුදු සීමාවට රැගෙනවිත් ඇති මෙම හෙරොයින් සහ අයිස් මන්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි බහුදින ධීවර යාත්‍රා උපයෝගී කරගනිමින් රට තුළට ගෙනැවිත් ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


ඒ අනුව, 2020 ඔ ක්තෝබර් මස 'කනිල් පුතා' යාත්‍රාවෙන්  හෙරොයින් කිලෝ 250ක්, නොවැම්බර් මාසයේ දී “ලක්මිණී 10" නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 50ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 235ක් සමග නවීන පන්නයේ මිලිමීටර් නවය වර්ගයේ නවතම පිස්තෝල 20ක් ඉකුත් පෙබරවාරි මස ‘සහරා' නමැති බහුදින යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 390ක්  සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් ද දකුණු මුහුදු තීරයේ වැලිගම,. මිරිස යන ප්‍රදේශවලින් මෙරටට රැගෙන ඒම සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණය දෙපාරතමේන්තූව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

සැකකාර ‘මිදිගම ලසා' නමැත්තා ඉකුත් අගෝස්තු මස 03 වැනිදා රතනපාල මාවත මාතර ලිපිනයේ පදිංචි රණවීර නමැත්තෙකුගෙන් රුපියල් එක් කෝටි විසි එක් ලක්ෂයක මුදලකට මිට්ෂුබිසි වර්ගයේ ජීප්රථයක් මිලට ගැනීමට යෙදූ මුදල් හරක් හටා නමැත්තා විසින් දෙන ලද ඒවා බවට ද මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.   මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබේ.

(නිමන්ති රණසිංහ)