arjuna-president

ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු  අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම සඳහා දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනයක් ලැබුණහොත් ඊට ඉදිරිපත් වීමට අකැමැත්තක් නොමැති බව හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (01) පැවසීය.  

හොරකම් නොකරන්න, ඩීල්කාරයින් නැති කණ්ඩායමක් පක්ෂ දේශපාලනයෙන් තොරව එක් වුවහොත් රට ගොඩනැගි හැකි බව ද අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.  ඔහු මේ බව පැවසුවේ මහනුවරට ඊයේ (01) ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.


ඉදිරියේ දී රටට පැමිණෙන විපත්තිවල දී තමන්ට හැකි ආකාරයෙන් තම දැනුම අනුව දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන බව ද රණතුංග මහතා කීවේය.  හොරකම, දූෂණය මර්දනය කිරිමට තරුණ පිරිස් ඉදිරියට පැමිණියහොත් රට වෙනම ගමනකට ගෙන යා හැකි බව කී රණතුංග මහතා පළමුවෙන් ඉහළම කෙනා හොරකම  නැවැත්විය යුතු බවත්, එවිට පහළ හොරකම් සිදුවන්නේ නැති බවත් පැවසීය.

  ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුදලටම යට වූ රටක් බවට පත්ව තිබීම අවාසනාවන්ත තත්ත්වයක් බව කී අර්ජුන රණතුංග මහතා,  තමන් පක්ෂ දේශපාලනයට අකමැති අයකු බවත්, ව්‍යාපාරය කරගෙන ජීවත්වන තමාට සොරකම් කිරීමට අවශ්‍ය නැති බවත්  කීවේය.  රටට තමා අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක ඒ සඳහා ඉදිරිපත් වෙන බව ද රණතුංග මහතා කීය. කියපු දේ කරන ඉම්රාන් ඛාන් වැනි නායකයන් ලෝක දේශපාලනයේ ඉතා අඩු බව ද රණතුංග මහතා සඳහන් කළේය.


  ෂේන් සෙනෙරන්න