“අපි විකල්ප පත්තරකාරයෝ විදිහට දින රහිත මරණ වරෙන්තුවත් බෝල්පොයින්ට් පෑනත් විතරයි අපේ සන්තකයේ තිබුණේ. එදා අපිට ජීවිත ආරක්ෂාව , ජීවිත රක්ෂණය දුන්නෙ ලක්ෂ සංඛ්‍යාත පාඨකයෝ” යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.



ඔහු මේ බව කියාසිටියේ “ඇසිදිසි රක්ෂණාවරණය” ජනමාධ්‍යවේදීන්ට ප්‍රදානය කිරීමේ අද අරලියගහ මන්දිරයේදී පැවති උත්සවය අමතමිනි.

මෙම රක්ෂණාවරණය මාධයවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට ලබාදීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇති අතර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටියි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා,

“අතිගරු අග්‍රාමාත්‍යතුමනි, මම විකල්ප පත්තරකාරයෙක් විදිහට අද මේ අවස්ථාව හදුන ගන්නේ ප්‍රතිපත්ති සම්පාදකයෙක්ට වඩා වැඩි බරකින්. ජීවිත ආරක්ෂාව කියන එක උප ශීර්ෂයක් විදිහට පාවිච්චිකරපු පත්තරකාරයෙක් විදිහට ජීවිත රක්ෂණය කියන එක උප ශිර්ෂයක් ලෙස පාවිච්චි කරපු යුගයක විකල්ප පත්තරකාරයෙක් විදිහට අපි එදා කටයුතු කළේ ජනතාව වෙනුවෙන් වගකීම් සහගත මාධ්‍ය කලාවක් කියන දේ ශීර්ෂ පාඨය කරගන්න ජීවිත ආරක්ෂණය උප ශිර්ෂය කරගෙන.

එය ඉතා දිගු ඉතිහාසයක් නෙමෙයි. අපි විකල්ප පත්තරකාරයෝ විදිහට දින රහිත මරණ වරෙන්තුවත් බෝල්පොයින්ට් පෑනත් විතරයි අපේ සන්තකයේ තිබුණේ. එදා අපිට ජීවිත ආරක්ෂාව , ජීවිත රක්ෂණය සැපවූයේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයෝ. ඒ බොල්ට් පොයින් පෑන අතට ගත්තු අපේ වෘත්තීය සගයෝ. ඒ පාර්ශව දෙකට අමතරව දේශපාලන නායකයෝ හතර දෙනෙක් මහා ප්‍රාකාරයක් විදිහට  ඒ අඳුරු සෙවනැලි පත්තර පිටුමත වැටිච්ච යුගයේ අපේ ආරක්ෂාව වෙනුවෙන් හිටගත්තා.

එදා සුනිල් මාධව ප්‍රමුඛ එක විකල්ප පත්තරයක් , සුනන්ද දේශප්‍රිය ප්‍රම්‍රඛ තව විකල්ප පත්තරයක් ආණ්ඩුවේ ගොරෝසු පිළිවෙතට අභියෝගකරන වෙලාවේ ගරු අගමැතිතුමනි , විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට ඔබතුමත් තවත් තිදෙනෙකුත් නිරන්තරයෙන් සුනිල් මාධව ප්‍රමුඛ අපි දිහාත් සුනන්ද දේශප්‍රිය ප්‍රමුඛ යුක්තිය කණ්ඩායම දිහාත් හොයා බැලුවා. අපිට ආදරය රැකවරණය දුන්නා.

අද රාජ්‍යයක වගකීම ඉෂ්ඨකරමින් මේ රටේ වෘත්තීය මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණය ප්‍රධානය කරන වෙලාවේ  ඔබතුමාට ඒ ගෞරවය ප්‍රධානය කරමින් ප්‍රථම වතාවටයි  වේදිකාවක මට ඒ ගැන ජනමාධ්‍ය වෘත්තියට සම්බන්ධ කෙනෙක් විදිහට මතක් කරන්න ලැබුනේ.



මම කෘතවේදීව සිහිපත්කරනවා අනිත් තිදෙනාව. අවාසනාවකට  ඒ තිදෙනාම අද ජීවතුන් අතර නැහැ. එක් කෙනෙක් මංගල සමරවීර. අනිත් කෙනා ගාමිණි දිසානායක, අනිත් කෙනා ලලිත් ඇතුලත් මුදලි. මේ දේශපාලනඥයන් තිදෙනා තමයි  මහින්ද රාජපක්ෂ කියන විපක්ෂයේ සටන්කාමී, නිර්භීත දේශපාලනඥයාට අමතරව එදා අපිට ජීවිත රක්ෂණාවරණය වෙනුවෙන් පෙනී සිටියේ” යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති අශෝක් පතිරගේ, මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය නාලිකා ප්‍රධානීන්, පුවත්පත් කතුවරුන්, වෙබ් අඩවි මාධ්‍යවේදීන් සහ රක්ෂණලාභීන් ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.